කපුටා සහ කේජු කෑල්ලේ ඇත්ත කතන්දරය

නරියා සහ කේජු

ඔහෙලා අහලා ඇති කපුටෙක් රවටලා කේජු කෑල්ලක් කොල්ලකාපු නරියාගේ කතාව. කේජු කෑල්ලකට පොර කෑ බල්ලෙකුවයි බළලෙකුවයි රවටලා ඒ කේජු කෑල්ල කාපු වඳුරගේ කතාවත් අහලා ඇති. මේ දෙක කතා දෙකක් හැටියට තිබුණත් ඉස්සර එකම කතාවක්. දෙවෙනි කතාවේ වඳුරට රැවටුනේ බල්ලෙකුයි, බළලෙකුයි නෙමෙයි. නරියෙකුයි, වල්බළලෙකුයි. කැලේට කොයින් ද බල්ලො – බළල්ලු.

ඒත් පස්සේ කාලෙක දි මේ සේරොම කතා මුලින්ම ලියන්න පටන් ගත්තේ නරි. ඒ නිසා ඒ අය රැවටිච්චි හැම තැනකදීම, ඒ වෙනුවට වෙන සතෙකුගේ නම දාලා ඒ කතාව ලිව්වා.

ඉතින් මං දැන් කියන්න හදන්නේ නරියා විකෘති කරපු ඒ කතාව ඇත්තටම සිදු වුණේ කොහොමද කියලයි.

ඔන්න එකෝමත් එක රටක, එක කපුටෙක් හිටියා. මේ කපුටා එදා වේල හොයා ගන්න බොහොම මහන්සි වෙනවා. බොහෝ වෙලා ඇවිදලා තමන්ට උවමනා කෑම හොයා ගන්නේ හුඟක් මහන්සිවෙලා. දහඩිය මහන්සියෙන් වැඩ කළත් කපුටාට කන්න උවමනා බොහොම ටිකයි.

ඒ රටේම හිටියා නරියෙක්. නරියා හරි කම්මැලියි. ඒ වගේම අනුන් රවටන්නත් හරිම සූරයි. හැම වේලාවෙම කාගේ හරි කෑමක් කොල්ල කා ගන්න කල්පනා කරනවා මිස ඇඟ හොල්ලා කරන වැඩට හොරයි. ඒත් නරියට කපුටට වගේ නෙමෙයි, හුඟක් කෑම කන්න ඕනෑ. ඒ නිසා නරියත් වැඩි වැඩියෙන් කොල්ලකන්නේ කොහොම ද කියලා කල්පනා කරනවා.

දවසක් කපුටා කොහෙන්දෝ කුණු බක්කියකින් කේජු කෑල්ලක් ඇහින්දා. ඒක විශ්වාස කරන්න ටිකක් අමාරු වුණත් ඇත්ත ඒකයි.

ඉතින් කපුටත් මේ කේජු කෑල්ල අනික් කපුටන්ට නොපෙනෙන්න කන්න හිතලා, කැලෑව ඇතුළටම අරන් ගිහින් ගහක් උඩ වාඩිවෙලා කන්න සූදානම් වුණා. මේ ගහ යටින් ගිය නරියට කේජු සුවඳක් දැනුණා. උඩ බැලින්නම් කපුටා කේජු කෑල්ලක් එක්ක. නරියට හිතුනා මේ කේජු කෑල්ල කොහොම හරි තමන් කන්න ඕනෑ කියලා. එහෙම හිතූ නරියා මොකක් හරි උප්පරවැට්ටියක් දාන්න කල්පනා කරලා අන්තිමේ කපුටාට මෙහෙම කියනවා.

“අනේ…! කපුටෝ. උඹ මොන තරම් සුන්දර පක්‍ෂියෙක් ද…? ඇස් වටකුරුයි. දීප්තිමත් ඇඟ තද නිල්පාටින් දිලිසෙන අපූරුව. උඹේ සිනිඳු හිසයි, දිග පෙඳෙයි කොච්චර සමබරද…? මට පුදුම මෙච්චර කාලෙකට මේක නොදැක්ක එක ගැනයි. උඹ කොච්චර මහන්සිවෙලා වැඩ කරනවද…? අන්න ඒ නිසයි මං හිතන්නේ උඹ ඔය තරම් හැඩ. මහන්සිවෙලා හලන උඹේ දහඩියේ වුණත් තියෙන්නේ නියම ජීවන සුවඳ. ඉතින් මෙච්චර ලස්සන උඹේ එක ලස්සනක් බලන්න ඇයි උඹ අපට ඉඩ නොදෙන්නේ…?”

කපුටාට හරි පුදුමයි. මීට පෙර කවදාවත් කවුරුවත් තමන්ට මෙහෙම කියලා නැහැ. මං බොහොම මහන්සිවෙලා වැඩ කරන කෙනෙක්. හුඟක් මහන්සි වෙන අයගේ දහඩිය පවා සුවඳයි කියලා කොහේදෝ කවි පොතක තිබුණු බව කපුටාට මතක් වුණා. නරියා විතරයි මගේ නියම සුන්දරත්වය දැකලා තියෙන්නේ. කපුටා ටික වෙලාවක් සතුටු වුණා, තමන් ගැන ඇති වුණු ආත්මාභිමානයෙන්.

නරියා ආයෙත් මෙහෙම කියනවා. “ඇයි කපුටෝ, උඹේ හඬේ ලස්සන අහන්න හොඳ සිංදුවක් කියන්න බැරි…? උඹ සිංදු කිව්වොත් සමහරවිට කැලේ සේරොම සත්තු වැඩ නවත්වලා ඒක අහන්න ඒවි. එහෙමත් නැත්නම් මහන්සි නොබලා සතුටින් තමන්ගේ වැඩ කරාවි.”

කපුටා සිංදුව කියන්න ඉක්මන් වුණා. සිංදුවක් කියන්න කට ඇරියත් ගොරහැඬි කපුටු හඬ විතරක් පිට වුණා. කටේ තිබුණු කේජු කෑල්ල බිමට වැටුණා. එකපාරටම ඒක කකුලින් පාගාගත්තු නරියා, කපුටාට මෙහෙම කියනවා.

“කපුටු යාලුවේ මට උඹ ගැන හරිම දුකයි. උඹ කොච්චර මහන්සි වී වැඩ කෙරුවත් උඹේ ඔය මොට්ට ඔලුව ඇතුළේ උකුණු හිසක් තරම්වත් මොළයක් නැහැ. උඹ උඹේ තරම දන්නේ නැහැ. උඹ, උඹ ගැන හිතන්න හදන්නේ ඒ ගැන අනුන් කියන දෙයින් විතරයි. උඹ කොච්චර මහන්සි වුණත් හොඳ අනාගතයක් ලැබෙන්නේ නැහැ. කේජු කෑල්ලට බොහොම ස්තූතියි.”

මෙහෙම කිව්ව නරියා කේජු කෑල්ලත් අරන් යන්න ගියා. කපුටාට තමන් කරපු මෝඩකම වැටහුණා. ඒත් ඒක වැටහුණේ වැඩේ වුණාට පස්සේ බව තේරෙන කොට පුංචි පහේ ලජ්ජාවකුත් කෝපයකුත් ඇති වුණා.

නරියා කේජු කෑල්ල අරගෙන ගියත් එක පාරට කන්න ලෝභයි. ඒක ඒ තරම් රසයි. ඉතින් මුලින් ටිකක් ලෙව කාලා පැත්තකින් තිබ්බා. ඉන් පස්සෙ හොඳින් නාලා කියලා ඇවිත් තවත් පොඩ්ඩක් කන්න ඕනෑ කියලා හිතා ගෙන, හොඳ සුරක්‍ෂිත තැනක කේජු කෑල්ල හැංගුවා. නරියා, ඉන් පස්සෙ නාන්න ගියා.

කැලේ ඉන්න සතුන්ගෙන් හොඳම ඉව තියෙන සතා තමයි වල්බළලා. උගේ නෑයෙක් වන අපේ ගෙවල්වල ඉන්න බළලාගේ ඉව කොච්චරද…? ඒ වගේ දහ දොළොස් ගුණයක් හොඳ ඉවක් වල්බළලට තියෙනවා. ඉතින් කන්න මොකුත් හොයමින් කැලේ එහෙ මෙහෙ ඇවිදින වල්බළලාට තද කේජු සුවඳක් දැනුණා. මේ සුවඳ දිගේ ගියාම, අන්තිමට නැවතුනේ අර නරියා හංගාපු කේජු කෑල්ල ළඟයි.

වල්බළලත් බොහෝම සතුටු වෙලා ඒ කේජු කෑල්ල කන්න සූදානම් වුණා විතරයි. මෙන්න බොලේ නරියා එතැනට කඩාගෙන පැනපි. “හොරා, තක්කඩියා, අනුන්ගේ දේ හොරාගෙන කන්නා. කොල්ලකාරයා, වංචාකාරයා. තමුසේ මගේ කේජු කෑල්ල කන්න හැදුවා නේද…?” නරියා වල්බළලට ගොරවන්න පටන් ගත්තා.

“මේක තමුසෙගේ කේජු කෑල්ල වෙන්නේ කොහොමද…? මේක මගේ ඉවට පිං සිද්ධවෙන්න මං හොයා ගත්තු කේජු කෑල්ල. තමුසෙයි ඒක කොල්ලකන්න හදන්නේ. තමුසේ හැමදාමත් කෙරුවේ අනුන්ගේ දේ කොල්ල කා ගත්තු එකයි.” වල් බළලත් දෙවෙනි වුණේ නැහැ.

“ඕක මට කපුටගෙන් ලැබුණු තෑග්ගක්, එයාගේ මහන්සිය කැපවීම ගැන මං ගොතාපු කවිවලට. තමුසෙට කිසිම අයිතියක් නැහැ ඒක ඔය විදිහට කොල්ලකන්න.”

ඔයින් මෙයින් ඔය කතාව තවත් දුර දිග ගියා. අන්තිමට නරියයි, වල්බළලයි, මවිල් පුප්පාගෙන, දත් විලිස්සා ගෙන, උඩ පනින්නයි, ගොරවන්නයි, පොරකන්නයි පටන් ගත්තා. මෙහෙම පොරකනවා මුලින්ම දැක්කේ වඳුරෙක්. වඳුරා ඇවිත් ඒ දෙන්නා මැදට පැනලා බොහොම අමාරුවෙන් දෙන්නා දෙපැත්තට කළා.

“එක කැලේ එකට දඩයම් කරන්න ඕනෑ උඹලා මොන එහෙකට පොර කා ගන්නවා ද…?” වඳුරා ඇහැව්වා.

“අනේ වඳුරුහාමි, මං ඉව පාරේ ඇවිත් හොයා ගත්තු කේජු කෑල්ල මූ හොරා කන්න හදනවා.” වල්බළලා කිව්වා.

“නෑ වඳුරුහාමි, මං හංගාපු තැනින් හොරා ගෙන මූ කන්න හදන කොට තමයි මං දැක්කෙ. ඒක මට කපුටා දුන්නු තෑග්ගක්.” නරියා කිව්වා.

වඳුරා කේජු කෑල්ල අරන් ඉඹලා බැලුවා. දැන් තමයි වඳුරටත් ඒකෙ රස ගැන හැඟීමක් ඇති උනේ, වඳුරත් කෙළ හලන්න පටන් ගත්තා. වල්බළලටත්, නරියටත් මේ වැඩේ එච්චර ඇල්ලුවේ නැහැ.

“මේකට උඹලා පොර කන්න ඕනෑ නැහැ. උඹලා දෙන්නාම කියන කතා ඇත්තයි. ඒ බව මට හොඳින් තේරෙනවා. ඒක සමාදානෙන් බෙදා ගෙන කාපල්ලා. ඕනෑ නම් මං බෙදලා දීලා යන්නම්.”

වඳුරගේ යෝජනාවට දෙන්නම කැමති නැහැ.

“ඒක මටයි කපුටා දුන්නේ. ඉතින් මං මොකටද වෙන කාටවත් පංගුවක් දෙන්නේ…?” නරියා කිව්වා.

“මං මගේ ඉවට පිං සිද්ධ වෙන්න හොයා ගත්තු කේජු කෑල්ල. මං නොකා මොකටද අනුන්ට පංගුවක් දෙන්නේ…?” වල්බළලත් කිව්වා.

කොහොමෙන් හරි ආයිත් සැරයක් දෙන්නා පොරේට වැටුණා. මේ පාර නම් වඳුරට බේරන්න බැරි තරම් දරුණුයි. අන්තීමට දෙන්නටම හති වැටිලා පොරය නවත්වන කොට වල් බළලගේ කන් පෙත්තකුත්, නරියගේ පිටේ ලෝම පදාසයකුත් නැති වෙලා තිබුණා.

දැන් නම් දෙන්නටම තේරිලා, එකෙක් අනිකට යටත් නොවන විත්තිය. අන්තිමේ දී දෙන්නම කැමති වුණා, වඳුරා කේජු කෑල්ල බෙදා දෙනවට. වඳුරා කේජු කෑල්ල දෙකට කැඩුවා. “දැන් මේ දෙකෙන් උඹලාට ඕනෑ මොකක්ද…?” කියලා දෙන්නගෙන් වෙන වෙනම ඇහැව්වා. දෙන්නාම එකම කෑල්ල ඉල්ලනවා. වඳුරා “ඒ ඇයි…?” කියලා ඇහැව්වාම “ඒක ලොකු නිසා” කියාපි.

“හොඳයි එහෙනම් ඒ වැඩි හරිය මං කනවා. එතකොට කෑලි දෙකම එක ගානයි.” කියලා වඳුරා ලොකු කෑල්ලෙන් කොටහක් කෑවා. ඊළඟට අනික් කෑල්ල ඒ කියන්නේ මෙතෙක් වෙලා තිබුණු පුංචි කෑල්ල ලොකු වුණා. දෙන්නම ඒ කෑල්ල ඉල්ලුවා.

වඳුරත් කෑලි දෙක සමාන කරන්න මාරුවෙන් මාරුවට එක එක කෑල්ලෙන් කොටහ ගානේ හිමින් සීරුවේ කෑවා. කොහොමෙන් හරි අන්තිමට ඉතුරු වුණේ වඳුරා අතේ තිබ්ච්ච ඇබිත්තන් කේජු කෑල්ලක් විතරයි.

අන්තිමට ඒ දිහා බලලා නරියයි, වල්බළලයි කතා වෙලා කියනවා. “ඒ කෑල්ල අපි දෙන්නා සාමදානෙන් බෙදාගන්නම්. දැන් ඒ කෑල්ල අපිට දීලා වඳුරු හාමි යන්න.”

ඒත් වඳුරා හිනාවෙලා මෙහෙම කියනවා. “මෙච්චර වෙලාවක් මං මේක බෙදා දෙන්න මහන්සි වුණේ අත ලෙව කන්නයැ. මගේ මහන්සියට මටත් කෑල්ලක් ඕනෑ. මේක මං කනවා.” එහෙම කිව්ව හැටියේ ඒ කෑල්ලත් කටේ දාගෙන වඳුරා ගහකට ගොඩ වුණා. ගහට ගොඩවුණු වඳුරා වල්බළලටයි, නරියටයි මෙහෙම උපදේසයකුත් දුන්නා.

“මින් පස්සෙවත් තමන් හොයා ගත්තු දෙයක් සමාදානෙන් බෙදාගෙන කන්න පුරුදු වෙයල්ලා. කලින් හොයාගත්තේ කව්ද කියන එක නෙමෙයි වැදගත්. හොයාගත්තු දේ හැමෝම එකතුවෙලා සමාදානෙන් බුක්ති විඳින්නේ කෝමද කියන එකයි.”

ඉතින් නරියට තමන්ට වෙච්ච පාඩුවටත්, රැවටිල්ලටත් හරිම හිතට අමාරුයි. නරියා ඒ ගැන කල්පනා කරමින් දින ගණනක් කෑමක් නැතිව එක තැන ගුලි වී හිටියා.

අපේ කතාවේ මුල හිටපු චරිතය, කපුටා- අපි කොහොමද එයාව අමතක කරන්නේ…? එයා තමයි කේජු කෑල්ලේ නියම අයිතිකාරයා.

ඒත් කපුටා නම් කේජු කෑල්ල අමතක කර දැම්මා. ආයෙත් දවසක කුණු ගොඩක් අවුස්සද්දී අහම්බෙන් හරි කේජු කෑල්ලක් හම්බවෙන්න පුළුවන් නොවැ.

ඒත් නරියට නම් ඒක එහෙම වෙන්නෙ නැහැ. නරියට කේජු කන්න නම් ආයෙත් කපුටෙකුට කේජු කෑල්ලක් හම්බවෙන්න ඕනෑ. ඒ කපුටා ආයෙත් රැවටෙන්න ඕනෑ.

ඒත් කපුටො වුණත් හැමදාම එක විදිහට රැවටේවි කියලා හිතන්න පුළුවන් කාටද…?

(මේක 1989 දී විවරණ සඟරාවට ලියපු උපමා කතාවක්.)

Advertisements

2 thoughts on “කපුටා සහ කේජු කෑල්ලේ ඇත්ත කතන්දරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )