නිරුවත් සංස්කෘතිය

maaligaava vandinna yana landun
ග්‍රීෂ්ම සෘතුවේ දී කෙලෝනා නුවර සැණකෙලි සිරි ගනී. සෙල්සියස් අංශක තිස් පහක්, හතළිහක් අතර පමණ වූ උණුසුමත්, දැඩි හිරු රැස් වැටීමත් නිසා මෙහි වැසියෝ නිතැතින්ම ඔකනාගන් විලෙහි නොගැඹුරු ජලය සහිත වෙරළ තීරයන් වෙත ඇදෙති. පසුගිය කාලයෙහි කෙලෝනා නුවර, ඔකනාගන් විලෙහි සුප්‍රකට වෙරළ තීරයක් සමීපයෙහිම පදිංචිව සිටි අපට කැමති වුවත්, අකමැති වුවත් නිරන්තයෙන්ම මේ ජනගඟට මැදිවන්නට සිදුවිය. මේ නගරයෙහි සුවිශේෂ ලක්‍ෂණය වනුයේ මේ කාලයෙහි ජල ක්‍රීඩාවන් සඳහා යන බොහෝ තරුණ තරුණියන් නගරය මැද වුව සැරිසරන්නේ, නාන ඇඳුමින් පමණක් වීමය. නාඹර තරුණියන් බිකිනි හැඳ, නග්න දෙපා පොළව මත තබමින් ඇවිද යන්නේ කිසිදු පැකිළීමකින් තොරව, සම්පූර්ණ ඇඳුමින් සැරසුණු උන් විලසය.
කුමන හේතුවක් නිසා හෝ මෙය දකින හැමවිටම මට මතක් වන්නේ මා කුඩා කල පාසල් නිවාඩුවට ගමේ ගිය විට දැක ඇති කිසියම් සිද්ධියකි. එකල ජීවිතයේ අසූව දශකයට එළැඹ සිටි මගේ සීයා කුඹුරු කොටන්නට යන්නේ ගෙදරදීම අමුඩයට බැසීමෙන් පසුය. කුඹුර කොටා, නියර බැඳ වෙහෙස වී, ඒ අමුඩ කෙටිය සමගම ඌරුකොටේ ළිඳෙන් නා, උදැල්ලත් කර තබා ගෙන මාකුරේ සිට නාරම්පිටිය දක්වා, බුලත්කොහුපිටිය – කෑගල්ල බස්පාර දිගේ මහත් උජාරුවෙන් ඔහු පැමිණෙන ආකාරය, මේ නාඹර තරුණියන් දකින හැම විටම මට සිහිවේ. තට්ටම් දෙකම නග්නව, දෙනෝ දාහක් යන එන බස් පාරේ අපේ සීයා ගියේත්, අද මේ ගැටිස්සියන් කෙලෝනා නගරය මැද බිකිනි හැඳ ගිය උජාරු ස්වරූපයෙන්ම යැයි ඒ හැම විටෙකම මට සිතේ.
සීයාගේ මේ අමුඩ කෙටිය අසික්කිත ඇඳුමක් ලෙස කිසි දිනෙක මට නොදැනුනත්, මහනුවර කන්‍යාරාමයක, කන්‍යා මවුතුමියන්ගෙන් ඉගෙනුම ලැබූ අපේ අම්මාට, තාත්තා හා විවාහ වී ගමේ පදිංචියට ගිය පසු නම් එය එසේ නොවන්නට ඇතැයි මම සිතමි. අමුඩයෙන් සැරසී කුඹුරු කොටන හෝ වෙනයම් කාර්යයක යෙදෙන වුන් අශිලාචාර යැයි හැඟවෙනු පරිදි ඇය කතා කළ අවස්ථා ඕනෑ තරම් මට අසන්නට ලැබී තිබුණි.
* * * * * * * * * * * * * * * * *
මීට වසර පහකට පමණ පෙර අවසන් වරට ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ, දිනෙක අපි ශ්‍රී දළදා මාළිගාව වඳින්නට යන්නට සූදානම් වුනෙමු. එවකට දහය සහ දොළොස් වියැති මා පුතුන් දෙදෙනා දණහිස තෙක් දිගැති කොට කලිසම්වලින් සැරසී සිටිනු දුටු මගේ පොඩි අක්කා, “ඇයි මාළිගාවට යනකොටවත් මේ ළමයින්ට සංවර ඇඳුමක් අන්දන්න බැරි…? දෙන්නම දිග කලිසම් ඇඳගෙන යන්න.” කියා විධානය කළාය.
“මං අවුරුදු දහසය, දාහත කාලෙදිත් මාළිගාවට ගියේ කොට කලිසම් ඇඳගෙන. මොකක්ද මේ කොට කලිසමේ තියෙනඅසංවරකම…?” මම පෙරළා ඇගෙන් ප්‍රශ්න කළෙමි.
“ඒ ඔයාගොල්ලන්ගෙ කාලෙ. දැන් ලංකාවේ ඒ සෙල්ලම් කරන්න බැහැ. දළදා මාළිගාවට ඇතුලුවෙන්න දෙන්නේ නැහැ වළලුකර වෙනකම් වැහෙන ඇඳුමක් නැතිව.” තරමක කේන්තියෙන් පිළිතුරු දුන් අක්කා, “කැනඩාවේ අසංවර සංස්කෘතිය මෙහේට ගේන්න හදන්න එපා.” කියා තර්ජනාත්මක ඇනුම්පදයකින් මට දමා ගැසුවාය.
අප කුඩා කාලයේ දහම් පාසල් ගියේ ද, පන්සල් ගියේ ද අපට පුරුදු කොට කලිසම් පොඞ්ඩෙන් සැරසීය. එය අසංවර ඇඳුමකැයි දහම් පාසල් ධර්මාචාර්යවරුන් හෝ හාමුදුරුවන් කිසි දින අපට කියා නැත. ගැහැනු ළමයින් වැඩි දෙනා පැමිණියේ ද ගවුම් කොට හැඳගෙනය. අතරින් පතර එකෙකු දෙන්නෙකු පමණක් ළමා සාරියෙන් සැරසී පැමිණි බව මට මතකය. එහෙත් පසු කලෙක මා රැකියාව කරන සමයෙහි, සුදු සරොම්වලින් සැරසුණු පිරිමි ළමයින් සහ ළමා සාරියෙන් සැරසුණු ගැහැනු ළමයින් මහරගම සුප්‍රකට දහම් පාසලකට යන හැටි මම දැක ඇත්තෙමි.
අප කුඩා කාලයේ දී ඇඳි මේ කොට කලිසම් අද ශ්‍රී ලංකාවේ කුඩා පිරිමි ළමයින්ට අසංවර ඇඳුමක් බවට පත්වන්නට බල පෑශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මේ සංස්කෘතික පෙරැළිය කුමක්ද…?
ශ්‍රී ලංකාවේ සිටින බොහෝ බෞද්ධයින් සිතන්නේ ශරීරයේ සකලාංගයන් වැසෙන පරිදි, ඇඳුම් ඇඳීම, අපට ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ රැගෙන ආ බුද්ධාගම සමග කියායි. දැඩි ග්‍රීෂ්ම තාපයටත්, හතරවටින් මුහුදින් වටවීමෙන් ලත් දැඩි ආර්ද්‍රතාවයටත් නිරතුරුව බඳුන් වන ඝර්ම කලාපීය ශ්‍රී ලංකාවේ සිටි පැරැන්නන් දහඩිය මුගුරු පෙරා ගෙන ඇඟම වැසෙන සේ රෙදි පොරවාගෙන ජීවත්වන්නට තරම් මුග්ධයින් වී යැයි මට නම් කිසිදා සිතන්නට නොහැකිය.
මෙරටට යුරෝපීයයන් පැමිණෙන සමයෙහි උඩුකය වසා ඇඳුම් ඇඳීමේ වරම් තිබුණේ ඉතා සීමිත කුළඟනන් කිහිප දෙනෙකුට පමණක් බව මා අසා ඇත. දැනට අවුරුදු විසිපහකට පමණ පෙර නකලස් කඳු වැටියේ ‘ගලමුදුන’ නම් වූ පුරාණ ගම්මානයට මා ගිය විට එදාටත් උඩුකය නොවැසෙන සේ ඇඟලුම් හැඳි ගැහැනුන් අපට කියා පෑවේ ඈත අතීතයේ අපේ වැසියන් ඇඳුම් ඇඳි ආකාරයයි.
එහෙත් පසු කලෙක හිම වැටෙන සීතල යුරෝපයේ සිට පැමිණ ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ සුද්දන්ට අපේ මිනිසුන්ගේ මේ කය නිරාවණය වන පරිදි ඇඳුම් ඇඳීම අසික්කිත දෙයක් යැයි හැඟුනු අතර, අපේ මිනිසුන් ශිෂ්ට සම්පන්න කිරීමට යුරෝපීය අධ්‍යාපනය, ආගම මෙන්ම මුළු සිරුර වැසෙන පරිදි ඇඳුම් ද හඳුන්වා දීමට එය බලපෑවේය.
ඈත ගම්මානයක ජීවත්වන මිනිසුන්ට අමුඩය ඉතා සාමාන්‍ය ඇඳුමක්ව පැවති සමයේ දී, නගරයේ කන්‍යාරාමයක යුරෝපීය කන්‍යාමවුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබූ මගේ අම්මා වැන්නවුන්ට එය අශිලාචාර ඇඳුමක් වන්නේ බෞද්ධාගමට වඩා කතෝලික පල්ලියේ බලපෑම් නිසාය. එහෙත් අද වන විට මේ යුරෝපීය ආගමික හා සංස්කෘතික බලපෑම් බුද්ධාගම සහ අපේ සංස්කෘතියට මාරු වී තිබේ.
අද අඩ නිරුවත සුද්දන්ට දී සුද්දන්ගේ වික්ටෝරියානු ශිෂ්ට සම්පන්න ඇඳුමට අපි මාරු වී සිටිමු. එපමණක් නොව මේ අඩනිරුවත අපේ රටවලට ගෙන ආවේ සුද්දන් විසින් යැයි සැබැවින්ම විශ්වාස කරන අපේ පොඩි අක්කා වැනි ප්‍රජාවක් ශ්‍රී ලංකාව පුරා බිහිවී සිටිති.
* * * * * * * * * * * * * * * * *
දිනපතා අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවේ පුවත්පත් කියවන කැනඩාවේ අප හා ජීවත්වන මගේ මිතුරෙක් පසුගිය දිනෙක මෙසේ කීවේය.
“උඹ දන්නවද වැඩක්…? දැන් ලංකාවේ කොට ගවුමයි, අමුඩයයි දෙකම තහනම් කරන්න හදනවා.”
මෙයට පිළිතුරු වශයෙන් “අනේ පලයන් බං යන්න. උඹලා ජේ.වී.පී.කාරයින්ගේ මඩ කතන්දර ප්‍රචාරය කරන්න හදනවා.” කියා මම කීවෙමි.
කෙසේ වුවද පසුගිය දිනෙක තවත් සිංහල බ්ලොග්කරුවෙකු මේ හා සමානම කතන්දරයක් කියා තිබුණි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඇමතිතුමා, අඩනිරුවත් ඇඳුම් තහනම් කිරීම සඳහා කමිටුවක් පත් කරන්න යන බවත්, එහි සභාපතිත්වය දැනට කලාමණ්ඩලයේ මුල් පුටුවේ සිටින වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට පවරන බවත් එහි සඳහන් විය. එම බ්ලොග්කරුවා දක්වන පරිදි මෙහි අරමුණ, ඉදිරියේ දී වර්ධනය වන සංචාරක ව්‍යාපාරයේ දී, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයිනට අප ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් හිමි ජාතියක් බව පෙන්නාදීමය. එක් අතකින් හෙළුවැලි සුද්දන් කියා බටහිර ජාතීන්ට කෝචොක් කරන අපි, ඔවුන් හඳුන්වාදුන් ඇඳුමින් කය වසා ගෙන සිටිමු. අනෙක් අතට උන් මෙරට එන විට ශිලාචාර බව උන්ට පෙන්වන්නට තතනමින් සිටිමු. අද අප මේ වළිකන්නේ බටහිර ජාතීන්ට එරෙහිව පිරිසිදු සිංහල බෞද්ධ සංස්කෘතියක් අපට ඇති බව පෙන්නා දීමටයි. මේ සඳහා අප නැවතත් පදනම් කර ගන්නේ වික්ටෝරියානු යුගයේ සුද්දන් මෙරටට ගෙන ආ උන්ගේ ශිෂ්ට සම්පන්න බවේ සංකේතයි.
මේ බ්ලොක්කරුවාගේ ලිපියට කමෙන්ටුවක් දමාපු එක් මගෝඩියෙක් මෙසේ කියා තිබුණි.
“එහෙම නම් මහාචාර්යතුමාට සීගිරි අප්සරාවන්ගෙන්ම පටන් ගන්න පුළුවන්.”
(මීට වසර හතරකට පමණ පෙර ‘යාත්‍රා’ සඟරාවට ලියන ලද රචනාවකි.)
Advertisements

3 thoughts on “නිරුවත් සංස්කෘතිය

  1. මේ ලිපියත් ඔය කියන බ්ලොග්කරුවාගේ ලිපියත් මං කියවා තියෙනවා වගෙයි මතක.

    ලංකාවේ ළමයින්ට අලුතෙන්ම බෝ කෙරෙන රෝගය තමයි මස් කෑම හොඳ නෑ ක්‍රින එක.

    කැමතියි

  2. අලුත් බ්ලොග්කරුවාට මගේ සුභපැතුම්!

    මං නං මේ වර්ඩ්ප්‍රෙස්එකට කැමති නෑ. ඒ ලේසියෙන් වෙනස්කම් කරන්න බැරි නිසයි.

    පටන් ගත්තා වගේ දිගටම පරණ ලිපි මෙහි පළ කරන්න. අලුතෙන් ලියන ඒවාත් දාන්න.

    කැමතියි

    • මම බ්ලොග් ලියන එක ගැන මෙලෝ මළදානයක් දන්නේ නැහැ. දැනගෙන හිටියේ බ්ලොග් ලියන්නේ වර්ඩ්ප්‍රෙස්වල කියලයි. මට තිබ්බේ පටන් ගන්න කලින් දැනමුත්තන්ගෙන් අහලා බලන්න. මගේ මූලික අරමුන වුනේ ලියා තිබෙන් දේවල් හොයා ගෙන සංරක්ෂණය කිරීම. ඉස්සර වගේ නොලියන නිසා. මූණු පොතේ සමහර වෙලාවට පෝස්ට් දාන කොට කීප දෙනෙක් ඉන්බොක්ස් කරලා අහනවා “ඇයි බ්ලොග් එකක් පටන් ගන්නේ නැත්තේ මේවා දාලා?” කියලා.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )