Month: මා ව
මිතු දම්
මා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයෙහි සේවය කරන සමයෙහි, මා සමඟ එකම කන්තෝරු කාමරය බෙදාගත් සගයා හපුතලේ මැතිවරණ කොට්ඨාසයෙන් පැමිණියෙකි. පශ්චාත් උපාධි පට්ටම් කිහිපයකට හිමිකම් කීව ද, වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා කිසියම් ඇමති තනතුරකට පත්වූ පසු, ඔහුගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කිරීමට හේ ඉතා කැමැත්තෙන් සිය රාජකාරිය අතහැර යයි.
කෙතරම් වෙනස් දේශපාලන මතිමතාන්තර දැරුව ද, එකම බුලත්විට බෙදාගෙන හපමින් සමීප මිතුරන් සේ ඇසුරු කරන්නට කිසිදු විටෙක අපට එය බාධාවක් නොවීය. කෙතරම් දුරස්ව සිටියත් අදත් අපේ මිතුදම් එසේම පවතී.
මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණෙහි රජයක් පැවති සමයක වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් විරුද්ධ පක්‍ෂයේ හෙයින් මගේ මිතුරා අප කාර්යාලයෙහි සේවය කරමින් සිටි කාලයකි. එකල පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා හපුතලේ ආසනයට අයත් ප්‍රාදේශීය සභාවක් සඳහා තරඟ වැදුණු ශ්‍රී ල.නි.ප. කණ්ඩායම් නායකයා මගේ සගයාගේ පාසල් සමයේ පටන් වූ මිතුරෙක් විය. මේ මිතුරාගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය අත්පත්‍රිකා සකස් කිරීමේ කාර්යය ඔහු විසින් මගේ සගයාට භාර දී තිබුණේ එවැනි මාධ්‍යකටයුතු පිළිබඳ මනා පරිචයක් ඇති ඔහු දන්නා එකම මිතුරා වූහෙයිනි. මෙම පත්‍රිකා සකස් කිරීමේ දී මා ද ඊට සම්මාදන් වූ බව මට හොඳ හැටි මතකය.
කෙසේ වුවද මෙම පත්‍රිකා සකස් කර මුල් කෙටුම්පත පරිගණකයෙන් මුද්‍රණය කර දිනක් ගත වන්නටත් පෙර මගේ මිතුරාට වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් ගෙන් වහාම පැමිණ හමුවන ලෙස පණිවුඩයක් ලැබිණි.
“මේ ටිකට කවුරු හරි මෙතන ඉන්න එකෙක් ඒක ලොක්කගේ කණේ තියලා” හේ මට කීවේ කෝපයෙනි. කෙසේ හෝ පණිවුඩය ලද දිනයේ සවසම ලොකුබණ්ඩාරයන් හමුවීමට ඔහු අමතක නොකළේය.
පසු දින රාජකාරි සඳහා පැමිණි මගේ මිතුරා පැවසු පරිදි ඔහු හා වි.ජ.මු. ලොකු බණ්ඩාරයන් අතර වූ දෙබස පහත පරිදිය.
“ඈ බං ඇත්තද උඹ අර ශ්‍රීලංකා එකෙන් ඉල්ලන රාජට ප්‍රාදේශීය සභා ඡන්දෙට උදව් කරනවා කියන්නේ?”
“ඔව් සර්, මං උදව් නොකර කොහොමද? ඌ හෝඩියේ පන්තියේ ඉඳන් මගේ යාළුවා වෙච්චිකොට. ඉතින් උදව්වක් ඉල්ලපුවාම මට බැහැ කියන්න බැහැ.”
“උඹ හරි බං. දේශපාලනේ හරි වෙන හේතුවක් නිසා හරි යාළුවෝ අතහරින්න නරකයි. හැබැයි ඔය පත්‍රිකා හදන එක වැඩට ඇවිත් අනික් උන්ට පේන්න කරන්නේ නැතිව ගෙදර ගිහින් කරපන්. නැතිනම් මට කණක් ඇහිලා ඉන්න නැහැ. උඹ දන්නව නේ ආයුර්වේදෙ ඇතුළේ වාතයක් ගියත් ගඳ හපුතලේට දැනෙන බව.”
මේ සිද්ධිය නිසා මගේ සගයා තම මිතුරාගේ ඡන්ද ව්‍යාපාරයට උදව් කිරීම අතහැරියේවත්, ඊළඟ ඇමතිකාලයේ දී වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් මගේ සගයාට මාධ්‍ය ලේකම්කම නොදී සිටියේවත් නැත.
* * * * * * * * * * * * * * * * *
පසුගියදා 18 වැනි සංශෝධනයට අත එසවූ වාසුදේව නානායක්කාර සහෝදරයා එසේ කරන්නට හේතු වූ සාධක පැහැදිලි කිරීමට කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ උපහාසයට බඳුන් වෙමින් පවතී. ඔහුගේ ප්‍රකාශයට අනුව මේ සංශෝධනයට ප්‍රතිපත්තිමය වශයෙන් ඔහු විරුද්ධය. එහෙත් යූ. ඇන්. පීයට හා සරත් පොන්සේකා පාර්ශවයේ මිලිටරිවාදයට එරෙහි වීමට අවශ්‍ය හෙයින් ඔහු මේ පනතට සහයෝගය පළ කරන්නට තීරණය කර ඇත. ඔහුගේ මේ ප්‍රකාශය ලිබරල් මාධ්‍යකරුවන්ට තලු මරමින් රසකර ලියන්නට හැකි විහිළුවක් ලබා දී ඇත. එහෙත් මෙම ප්‍රකාශය වාසුගේ සැබෑ අභිලාෂය පෙන්වන්නේ යැයි මම නොසිතමි.
මා අසා ඇති පරිදි 70 දශකයේ දී සමසමාජ පක්‍ෂයේ මහනුවර ලෝකල් සභාවේ වික්‍රමබාහු සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායම විසින් වාම සමසමාජ කල්ලිය බිහි කළ අවස්ථාවේ එය තලා දැමීම සඳහා පක්‍ෂය විසින් එවා තිබුණේ වාසු ය. එහෙත් දෛවයේ සරදමකට මෙන් පසු කාලයක දී පක්‍ෂයේ දොර තමාට වැසුණු කල වාසුට සිදුවූයේ තම පැරණි මිතුරාගේ සෙවන සොයා වාම සමසමාජ පිළට යන්නටය. වික්‍රමබාහු ද තමාගේ මේ මිතුරා සිය පිළට ගත්තේ ප්‍රතිපත්තිවලටවඩා තම පැරණි මිත්‍රත්වයට ගරු කිරීමක් හැටියට බව මම විශ්වාස කරමි. අවසර ලැබුණු විගස වාසු නැවතත් තම පැරණි පිළ නියෝජනය සඳහා පැන යන බව වික්‍රමබාහු නොදැන සිටියා නොවේ. වාසුගේ මේ සංක්‍රාන්ති කාලය ඔහු සිතුවාට වඩා දික් වුවත් ඉඩ ලද විගස එතැනින් පැන යන්නට ඔහු පසුබට වූයේ නොවේ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වාසු තමාගේ උපදේශකයකු ලෙස පත් කරනු ලැබූවේ, ඔහු වාසු ගරු කරන ප්‍රතිපත්තිවලට එකඟ නිසා නොවේ. ඒ ඔවුන් දෙදෙනා අතර කලක් තිස්සේ පැවති මිතුදම් සනාත කරනු වස් කළ යුතු දෙයක් සේ සළකාය. එසේ නම් මහින්ද ශ්‍රී ල.නි.පයේ හා වාසු සමසමාජයේ සිටින්නේ නැත. වාසු ද තමා එකඟ නොවන ප්‍රතිපත්ති දරණ මහින්ද දුන් ඒ තනතුර ප්‍රතික්‍ෂේපනොකළේ එය ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වයට කැළලක් විය හැකි නිසාය.
වරෙක තමන්ට තරඟ කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලද ඉඩ, වාසුට ප්‍රදානය කර ඉවත් වූ නැසී ගිය ඇම්. ඒ. ජස්ටින් සහෝදරයා කළ පරිත්‍යාගය අරබයා වාසු වඩාත් අවංක ප්‍රකාශයක් එකල කර තිබුණි. ඔවුන් දෙදෙනා අතර තිබූ හෘදයාංගමය සම්බන්ධතාව නිසා ජස්ටින් සහෝදරයා මේ අවස්ථාව තමාට ලබා දුන් බව ඒ ප්‍රකාශයට ඇතුළත් විය. මේ හෘදයාංගම සම්බන්ධතාවය දේශපාලනයට ඔබ්බෙන් ගිය ඒ දෙදෙනා ගොඩනගා තිබූ මිත්‍රත්වය මිස අනෙකක් නොවේ.
18 වන සංශෝධනයේදීත් ජස්ටින් අරබයා පළ කළ ප්‍රකාශය මෙන් තමන් මේ සංශෝධනයට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වුවත් මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පවතින හෘදයාංගමය සම්බන්ධතාවය නිසා මෙයට පක්‍ෂවන බව කියන්නට වාසු අවංක වූයේ නම් මේ ප්‍රකාශය අද ලක්ව ඇති විහිළුවක ස්වරූපයට වඩා සංවේදී වන්නටඉඩ තිබුණි.
මිතුදම් තරම් අසිරිමත් දෙයක් වෙන පවතී ද?
( 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වාසු අත එසැවූ බව දැන ගත් පසු මා විසින් යාත්‍රා සඟරාවේ මගේ කොලමට ලියූ රචනාව.වාසු කියන්නේ කෙටි කාලයක් වුව අපේ වීරයෙක් වූ කෙනෙකි. එවන් වීරයෝ බලු වෙනකොට අපට දුක හිතෙන්නේ ඔවුන් ගැන නොවේ අප ගැනමය. මේ ඒ දුක සමනය පිණිස ලියැවුණු රචනාවකි. )
එකතුවීමේ මහා පොදු සාධකය
ඔන්න එකෝමත් එක රටක හිටියා, පුංචි කංකුණ්ඩෙක්. සමහරු කංකුණ්ඩා කියන සතා ගැන වැඩි යමක් නොදන්නා නිසා ඌ මොනවාගේ දැයි විස්තරයක් කරන්නම්. මේ සතා කලුම කලු පාටයි. ඇඟ වටේට මුදු වැටිලා. ඒ මුදු එකතු වීමෙන් තමයි ඇඟ හැදිලා තියෙන්නේ. ඒවා කලු පාටින් දිළිසෙනවා. හරියට ඒ දවස්වල තිබුණු පාකර් පෑනක් වගේ. සතා වියතක් විතර දිග ඇති. මේ සතාට කකුල් සියයකටත් වැඩියෙන් තිබුනා. පුංචි කටකුත් තිබුණා.අනේ! ඒත් ඇස් දෙකක් නම් තිබුනේ නැහැ. ඒ විතරක් නම් මදෑ. කැලේ ඇස් නැති අනික් සත්තුන්ට තමන්ගේ වටපිටාව ගැන දැනගන්න පුළුවන් ඉව වත්, ඒකට අවශ්‍ය නහයක් හෝ ඇන්ටෙනාවක්වත් තිබුනේ නැහැ.
ඉතින් මේ කණ්කුංඩා හැටට හැටේ පිඹගෙන ගිහින් කොහේ හරි හැප්පුනාම, එතැනම රෝදයක් වගේ හැකිලිලා ටික වෙලාවක් ඉන්නවා, වේදනාව අඩු වෙනකම්. ඉන් පස්සේ හිමින් සීරුවේ දිග ඇදිලා ආපහු යන්න පටන් ගන්නවා. තව ටික වෙලාවකින් ආයෙත් යන්නේ හැටට හැටේ. ආයෙත් තැනක හැප්පුනොත් නවතිනවා. මේක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙච්චි දෙයක්.
දවසක් කංකුණ්ඩා මේ ගැන මෙහෙම හිතනවා. “මං දැන් කොච්චර කාලයක් මෙහෙම ඇවිදිනවද? කොතැනක හරි හැප්පුනොත් නවතිනවා. කොහොම හරි හැප්පෙන්න කලින් ඒක දැන ගත්තෝතින්, එදාට මට සීරුවෙන් ඕනෑම තැනකට යන්න පුළුවන්, කොතැනකවත් නවතින්නේ නැතිව. අනේ මට පේන්න ඇස් දෙකක් හරි, ඉව දැනෙන්න නහයක් හෝ ඇන්ටෙනාවක් හරි තිබුනා නම්….”
මෙහෙම හිතපු කංකුණ්ඩා ඒ ගැන උදව්වක් ලබා ගන්නට එයාගේ හිත මිත්‍ර කටුස්සා ළඟට යන්න හිතා ගත්තා. කටුස්සා බොහොම උගත් පණ්ඩිතයෙක්. උවමනාවට වඩා කතා නැහැ. හැබැයි කතා කළොත් ඒවා ලේසියෙන් තේරුම් ගන්න බැහැ. බොහොම ගැඹුරුයි. එයාට ඉදිරිපත් කරන ඕනෑම ප්‍රශ්නයක් හොඳින් ඇහුම්කන් දීලා තේරුම් ගන්නවා. ඉන් පස්සේ ඔලුව වනනවා. එයින් හැඟෙන්නේ ඊට විසඳුම එයා දන්න බවයි. අඩු ගණනේ තමන් යන යන තැනට උචිත විදිහට පාට වෙනස් කරන්න තේරුමක් තියෙන උගතුන් හැටියට මේ සතුන් අතරේ හිටියේ කටුස්සයි, ගෙම්බයි වගේ බොහෝම අතලොස්සක් විතරයි.
කංකුණ්ඩා හැටට හැටේ ගිහින් එක පාරටම කාගෙදෝ ඇඟේ හැපිලා නැවතුනා.
කුණුහරුප වකාරයයි. කංකුණ්ඩා ඇඟේ හැපුණු එක ගැන කිපිලා හැප්පිච්ච සතා තමන් දන්න හැම බාසාවෙන්ම කුණුහරුප එකතු කරලා බනිනවා. අඩු ගණනේ අන්ධයා කියලවත් අනුකම්පාවක් නැහැ. බැරිම තැන කංකුණ්ඩා මෙහෙම කියනවා.
“අනේ! යාලුවා පොඩ්ඩක් මේක අහනවා. මං මේ අන්ධයා, පොඩ්ඩක් ඇඟේ හැපුනු වරදට ඔහේ ඔය තරම් කුණුහරුප කීවා නම් ඇස් තියෙන එහෙකුට බනින්නේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බැහැ.”
ඒ පාර ඒ සතා ආයෙත් කංකුණ්ඩාගේ ඇඟට ගොඩ වුනා. “ඇයි ඕයි අන්ධයෙක් නම් අඩු ගණනේ කණවැල අල්ලන්න එකෙක් හොයා ගන්න ඕනෑ නොවැ. ඇයි ඉවපාරෙ යන්න බැරි? තමුසෙගේ නහයට මක් වෙලාද?”
” අනේ! ආයිබෝවන්ඩ, කංකුණ්ඩන්ට කොහෙද නහයක් තිබුනේ? තිබුනා නම් තමුසෙගේ ඇඟේ හැප්පෙනවද? මාත් මේ යන්නේ කණවැල අල්ලන්න කවුරු හරි හොයා ගන්න තමයි. බැරිද මාව කටුස්සා ළඟට එක්කන් යන්න?” කංකුණ්ඩා කන්නලව් කරා.
“එහෙනම් එනවා මං එක්ක යන්නම්” කියලා ඒ සතා කංකුණ්ඩගේ බෙල්ලෙන් අල්ලා ගෙන කටුස්සා ළඟට ඇදගෙන යන්න පටන් ගත්තා. ඒ යන අතරතුරේ දීත් තොරතෝංචියක් නැතිව කුණුහරුපත් කිව්වා.
මේ වෙනකොට කංකුණ්ඩාට නම් ම්නේ කණවැල හොඳටම එපා වෙලා. කියන කුනුහරුපවලට කන් දෙකත් හිරිවැටිලා. “මේ වගේ එකෙක් කණවැල අල්ලනවාට වඩා හොඳයි හැප්පි හැප්පී, නැවති නැවතී යන එක” කංකුණ්ඩාට හිතුනා.
කොහොම කොහොමෙන් හරි කටුස්සා ළඟටත් ආවයි කියමුකෝ. කංකුණ්ඩා තමන්ගේ දුක්ගැනවිල්ල කටුස්සාට කිව්වා.
කටුස්සා ඔලුව වනලා එහෙම මෙහෙම අහනවා. “ඉතින් තමුසේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?”
” අනේ කටුසු රාළහාමි, තමුසෙට බැරිද මට ඇස් දෙකක් දෙන්න?” කියලා කංකුණ්ඩා ඇහැව්වා.
කටුස්සට ටිකක් කේන්ති ගිහින් වගේ පාට වෙනස් වුනා. මං හිතන්නේ රාළහාමි කිව්ව නිසා වෙන්න ඇති. රාළහාමිලට වඩා උසස් අයට රාළහාමි කියලා කතා කරන්නේ අපහාසෙට නොවැ.
“ඇයි ඕයි තමුසේ හිතුවද මම විශ්වකර්ම දෙයියන්නාන්සේ කියලා තමුසෙට ඇස් ලබා දෙන්න? මට ඕන්නම් මොකක් හරි උපදේශයක් දෙන්න ඇහැකි” කියලා කටුස්සා කියාපි. “එහෙම නෙමෙයි තමුසෙට හොඳ නැද්ද කවුරු හරි කෙනෙක් කණවැල අල්ලන්න පංගරාත්තු කර ගත්තෝතින්?” කටුස්සා යෝජනා කළා.
” හොඳයි රළහාමි, හැබැයි අර මාව මෙහේට එක්කන් ආපු එකා වගේ එකෙක් හැර, කතාවේ සීමාවක් තියෙන ඕනෑම එකෙක් මට හොඳයි” කංකුණ්ඩා කිව්වා.
” එහෙනම් මට පුළුවනි උඹට එකෙක් හොයා දෙන්න. ඌ නම් කතා කරන්නම බැරි ගොලුවා. ඇස් දෙහෙකුත් නැති අන්ධයා. හැබැයිඋඹට වගේ තැන තැන හැප්පෙන්නේ නැතිව යන්න ඉවක් උගේ ඇන්ටෙනාවෙන් ලැබෙන නිසා ඒකේ ගැටලුවක් නම් නැහැ. ඒත් ඌටත් තියෙනවා පොඩි පරහක්; කකුල් නැතිව ඉක්මණට ඇවිද ගන්න බැරුවයි ඉන්නේ. ඉතින් උඹටත් සිද්ධ වේවි ගොලුබෙලි ගමන් යන්න.”
කංකුණ්ඩට සතුට ඉහ වහා ගියා. ” ඇයි අයිබෝවන් මට මේ සීයකටත් වඩා කකුල් තියෙන්නේ. එයා කැමති නම් මට බැරියැ පිටේ වුනත් තියා ගෙන යන්න. කවුද ඔය කියන එකා?”
“ඒ වුනාට කංකුණ්ඩෝ ඌට කතා කරන්නත් බැරි එකේ උඹ පිට උඩ තියාගෙන ගිහින් තවත් ප්‍රශ්න ඇති වෙන්න බැරි නැහැ” කටුස්සා දුර දිග බලලා ඔලුව වන වනා කිව්වා.
“අනේ ඒ ප්‍රශ්න යකාට ගියාවේ. කතා කරන එහෙකුට වඩා කොච්චර දෙයක්ද ගොලුවෙක් වෙන එක. අනික එයාට මං උදව් කරනවා ඇවිදින්න. එයා මට උදව් කරනවා පාර හොයා ගන්න. කොච්චර අපූරුද? හරියට කොරයි අන්ධයයි වගේ. කවුද ඔය යාළුවා?” කංකුණ්ඩට ඉස්පාසුවක් නැහැ.
“ඉතින් උඹට හොඳ නම් මට මොකෝ?” කටුස්සා කිව්වා. එයාගේ හැටි එහෙම තමයි. තමන් උපදේසයක් දෙනකොට ඒක අහන්නේ නැති එකාට දෙතුන් පාරක් ඇන ඇන කීමේ පුරුද්දක් කටුස්සට නැහැ. උගත් පණ්ඩිතයෙක් නොවැ.
“උඹට ඕනෑම නම් මං ගොලුබෙල්ලා අල්ලලා දෙන්නම්. හැබැයි කංකුණ්ඩෝ, එකෙතු වෙලා වැඩක් කරන කොය්ට අඩු සාධකේ වගේම පොදු සාධකේ ගැනත් හිතන්න ඕනෑ.” ඒ පාර කටුස්සා මහා ගාම්භීර තාලෙට නොතේරෙන කතාවකුත් කිව්වා. කටුස්සාගේ හැටි එහෙමයි. බොහොම හිතලා බලලා කියන දේවල් ලේසියෙන් තේරුම් ගන්න අමාරුයි. ඒක උගත් කමේ ලක්ෂණයක්. කංකුණ්ඩාට ඕවා ගැන හිතන්න හැකියවකුත්, උවමනාවකුත් නැහැ. එයාට හදිස්සි ගොලුබෙල්ලාව හමුවෙන්නයි.
ඔන්න ඉතින් කංකුණ්ඩාට, ගොලුබෙල්ලා හමුවුනැයි කියමුකෝ. ගොලුබෙල්ලටත් දැන් හරි සතුටුයි. දැන් හැටට හැටේ දුවන්න පුළුවන් නිසා. කංකුණ්ඩට සතුටුයි මින් පස්සේ හැප්පෙන්නේ නැතිව දිගටම ගමන යන්න පුලුවන් නිසා.
ගොලුබෙල්ලත්, කංකුණ්ඩගේ පිටට නැගුනා. කංකුණ්ඩත් දැන් බයවෙන්න දෙයක් නැති නිසා හැටට හැටෙන් පටන් ගෙන, සීයට සීයෙන් යනකම් වේගෙන් යන්න පටන් ගත්තා.
ගොලුබෙල්ලට හරිසතුටුයි මේ හුළඟත් කපා ගෙන යන ගමන ගැන. සතුට වාවගන්න බැරිව එයා සිංදුවක් කියන්න පටන් ගත්තා. ඒත් ඒක කාටවත් ඇහුනේ නැහැ එයා ගොලු නිසා.
මේ විදිහට දෙන්නා පිඹගෙන යනකොට, මෙන්න බොලේ! පාරේ ඉස්සරහින්ම මහා ලොකු කලු ගලක් මතුවෙලා පාර හරහට ඉන්නවා.
ගොලුබෙල්ලා මේක දැකලා බොහොම කලබල වුනා. එයා අර සිංදුව කිව්ව බාසාවෙන්ම, පාර මැද්දේ කලුගලක් තියෙන බව කංකුණ්ඩට කිව්වා. ඒත් ගොලුබෙල්ලගේ සිංදුවවත්, අනතුරු ඇඟවීමවත් කංකුණ්ඩට ඇහුනේ නැහැ. ඌ ආපු වේගෙන්ම මහා හයියෙන් කලුගලේ හැප්පුනා.
එතැන එක යුද්දයයි. ගොලුබෙල්ලා විසිවෙලා ගිහින් කටුවෙන් කෑල්ලකුත් කඩාගෙන.; කවදාවත් කොතැන හැපුනත් නොකැඩුණු කංකුණ්ඩාගේ කකුල් හත අටක් කැඩිලා ගිහින්. හැටට හැටේ ආපු වේගේ සීයට සීය වෙනකම් නංගලා තියෙන කොට ඔයින් ගියා ඇති කියලයි අනික් සත්තු කියන්නේ.
කටුස්සත් මේ හදිසි අනතුර බලන්න ඇවිත් හිටියා. කටුස්සා කංකුණ්ඩා ළඟට ඇවිත් පිට එහෙමත් අත ගාලා මෙහෙම කියනවා.
“යාලුවේ, මින් පස්සේ වත් එකත් වීමේදී නැති සාධක පුරව ගන්න එකට වඩා පොදු සාධක මොනවාද කියලා කල්පනා කරලා බලපන්”
(මේ උපමා කතාව 1989 මාර්තු මාසයේ ‘විවරණ’ සඟරාවේ පළවුනා)
නරියාගේ ගීත විචාරය
ඔන්න දවසක් නරියට හදිසියේම සිංදුවක් කියන්න හිතුනා. සිංහයෙක් කාලා ඉතිරි කරපු ගොදුරක් අනුභව කරලා ඉස්මුරුත්තාව හැදිලා ඈනුම් අරිමින් ඉන්නා අතරෙයි නරියට මේ කල්පනාව පහළ වුනේ. නරියත් හොඳට හරි බරි ගැහිලා ඉඳගෙන සිංදුව කියන්න පටන් ගත්තා. මොන සිංදුවක් ද? නරියා ගිරිය යටින් හූ කියනවා මිසක. කැලේ සතුන්ට මේක හරි හිරිහැරයක් වුනා. උන් එක එකා ඇවිත් නරියට බැන වැදී ගියා. මුලින් බැන්නේ පුංචි සත්තු. නරියා උන්ට හිනා වුනා. “වැදගත් ශාස්ත්‍රීය සංගීතය රසවිඳින්නට නම් අමාරුවෙන් සංයමයෙන් පුහුණු කර ගත් රුචිකත්වයක් ඕනෑ. මුන්ට කොහෙද එහෙම සංයමයක්?”
අන්තිමට මේ කන්දොස්කිරියාව ඉවසාගන්න බැරිම තැන අලියෙක් ඇවිත් පයින් ඇනලා, හොඬවැලෙන් උස්සලා දෙපාරක් බිම ඇනලා, නරියාව එළවා ගත්තා. එතකොටයි නරියට තේරුණේ ගායකයෙක් වීමත් ලේසි පාසු කටයුත්තක් නොවන බව.
ඉන්පස්සේ ඉබාගාතේ යන අතරේ නරියා මෙහෙම හිතනවා. “මුං මට කරදර කරන්නේ මං සිංදු කියන නිසානේ. හරි; මං සිංදු කීම නවත්තනවා. ඒත්, මං ගීත කලාව දාලා යන්නේ නැහැ, එකෙ එකාට ඕනෙ විදිහට. මින් පස්සේ මං කැලෑ පත්තරේට ගීත කලා විචාර ලියන්න පටන් ගන්නවා.”
ඔන්න ඔහොමයි නරියත් විචාරකයෙක් වුනේ. නරියා එක දිගට ලියන්න වුනා; වල් පොල්කිච්චන්ගේ, ගිරා මලිත්තන්ගේ ගීත ගැනත්, පළඟැටියන්ගේ වීණා වාදන ගැනත්, දිගින් දිගටම ලියන්න පටන් ගත්තා. ඒත් ඒවා කියවපු කිසිම කෙනෙක් ඒ ගැන නරියත් එක්ක කතා කරන්න හොයාගෙන ආවේ නැහැ. ඉතින් නරියගේ හිතට හරි නැහැ. නරියා දවසක් තමන්ම ඉදිරිපත් වෙලා යාලුවෙකුගෙන් අහනවා ” කොහොමද? කැලෑ පත්තරේ යන මගේ ගීත කලා විචාර කියවනවැයි?” කියලා. එතකොට යාලුවා කියාපි, “ඇයි ඕයි, වල්පොල්කිච්චන්ගේ සිංදු ලස්සන බව, පළඟැටියාගේ වීණා වාදනේ මිහිරි බව තමුසේ කියන්න ඕනැයැ. ඇයි අපිත් උපන් දා ඉඳන් රස විඳින්නේ. තමුසේ අපට රසවිඳින හැටි උගන්නන්න එනවද?”
නරියට ලැජ්ජා හිතුනා. ලැජ්ජාවටත් වඩා දුකයි. ඒ ලැජ්ජාව හා දුක වාව ගන්න බැරුව දවස් කීපයක්ම කන්නෙ බොන්නෙ නැතිව හැංගිලා හිටියා. මෙහෙම ඉඳලා බඩගින්න ඉවසන්න බැරිම තැන ගොදුරක් හොයාගෙන යන්න පටන් ගත්තා. සත්තු කීදෙනෙක් පස්සේ එලෙව්වද? ඒත් එක සතෙක් ලඟටවත් කිට්ටු වෙන්න බැහැ. හාමතේ එහෙ මෙහේ විසි වෙවී මොන දඩයම් කිරිල්ලක්ද?
ඔන්න ඔහොම යන අතරේ නරියට ඉබ්බෙක් හමුවුනා. නරියා දුටු හැටියේ ඉබ්බා හිසයි, අත් කකුල් කටුව ඇතුළට අරගෙන නිසොල්මනේ හිටියා. නරියා ඉබ්බාව එහෙට මෙහෙට පෙරලුවා. දෙතුන් පාරක් හැපුවා. ඒත් ඉබි කට්ට බොහොම තදයි. අන්තිමට ඉබ්බා ඔලුව ටිකක් එලියට දමලා, “නරිහාමි, කටුව ටිකක් තද වගෙයි නේද?” කියලා අහපි.
“උඹට බැරිද ඉබ්බෝ කටුව ගලවන් එළියට එන්න? බලපන් දවස් හතකින් මං කෑමක් කාලා නැහැ”
ඉබ්බා කියනවා, ” අනේ නරිහාමි මටත් බොහොම දුකයි. ඒත් කට්ට ගලවන්නේ මොකටද? මාව අරගෙන ගිහින් විලේ ඔබාගෙන හිටියොතින් උඹට පුලුවනි කටුව මෙලෙක් වුනාට පස්සේ කන්න.”
නරියටත් බොහොම සතුටුයි.”හැබැයි බොරු කරන්න හදන්න විතරක් එපා මං උඹව ලේසියෙන් අතහරින්නේ නැහැ.” මෙහෙම කිව්ව නරියා ඉබ්බත් අරගෙන ගිහින් විලට බැහැලා, ඉබ්බා වතුරට දමලා කකුලින් තද කරගෙන හිටියා, පැනල යන්න නොදී. ඔන්න ඔහොම ටික වෙලාවක් ඉඳලා නරියා අහනවා, “ඈ ඉබ්බෝ දැන් පෙඟිලා ඇති නේද?” කියලා.
“අනේ ඔව් නරිහාමි ඇඟේ අනික් හරිය නම් පෙඟිලා. ඒත් ඔහේ පාගන් ඉන්න තැනට තාමත් වතුර අහුවෙලා නැහැ.” කියලා ඉබ්බා උත්තර දුන්නා. නරියා ඒ හරියත් පෙඟෙන්න ටිකක් කකුල බුරුල් කළා විතරයි, මෙන්න බොලේ ඉබ්බා විල මැද්දට පීනා ගියේ නැතැයි හරියට ඉබ්බා දියේ දැම්මා වගේ.
එහෙම ගිහින් නිකම් හිටපන්කෝ. විල මැද ඉඳන් ඔලුව උස්සලා නරියට මහා කෝචොක් හිනාවකුත් දැම්මා. නරියට හරි කේන්තියි; ලැජ්ජයි. ඌ විල මැදට දුවන්න පටන් ගත්තා, ඉබ්බව අල්ල ගන්න. ඒත් වතුරේ ගිලෙන්න යනකොට නැවතුනා.
නරියා දනක් වතුරේ බැහැගෙන වෙච්චි රැවටිල්ලට ලැජ්ජා වෙමින් මොහොතක් හිටියා.
විල මැද්දෙන් බොහොම මිහිරි නාදයක් ඇහෙන්න පටන් ගත්තා. නරියට බඩගින්න අමතක වුනා. ඒ හඬ ඒ තරම්ම මිහිරියි. නරියා තුළ හිටි ගීත කලා විචාරකයා අවදි වුනා. “පුදුම මිහිරි හඬක්. ඇයි මීට ඉස්සර මේ හඬ අහන්න නොලැබුනේ?” නරියා කල්පනා කළා. අන්තිමේ ඒ ගැන මාලුවෙකුගෙන් අහන්න හිතලා තමන්ගේ කකුල ළඟම වැල්ලේ ගිලී නැලවි නැලවි හිටපු වැලිගොව්වෙකුට කතා කරලා අහනවා, “ආ යාලු අර තරම් මිහිරියට ගීත ගයන්නේ කව්ද?”
වැලිගොව්වා නැලවි නැලවීම පිළිතුරු දුන්නා. “ඇයි දන්නේ නැද්ද? ඒ තමයි ගී කියන මාලුවා. මුලු විලේම සත්තු මේ හැන්දෑවට මේ සිංදු අහන්න පුරුදු වෙලයි ඉන්නේ”
හැබෑ තමයි, මුලු විලම නිසොල්මනේ! අඩු ගණනේ ගෙම්බෙක්වත් කෑගහන්නේ නැහැ. සේරොම විලේ ඉන්න සත්තු මාලුවාගේ ගීය අහනවා. නරියත් සීතලේ වෙව්ලමින් ගීය ඉවර වෙන තුරුම වතුරේ බැහැගෙන අහන් හිටියා.
පහුවදාම නරියා කැලෑ පත්තරේට, ගී කියන මාලුවාගේ සුන්දර ගීත ගැන විචාරයක් ලිව්වා. මෙන්න මේ වතාවේ නම් නරියගේ විචාරය පළ දරලා! හැන්දෑවට කැලේ සේරොම වගේ සත්තු ඇවිත් විලට බැහැලා නිසොල්මනේ ගී කියන මාලුවාගේ සිංදු අහන්න පටන්ගෙන. නරියාටත් ඊට පස්සේ කැලෑ පත්තරේ කියවන පාඨකයින් බොහෝ ස්තූති කර තිබුන කර්තෘට ලියුම් තීරයේ, ඒ ගී රස විඳින්නට තමන්ට මග පෙන්නූ ශ්‍රෙෂට විචාරකයා කියලා.
“හැබැයි විලේ වතුරට බැහැලා, සීතලේ වෙව්ලමින්, සිංදු අහන එක තමයි අමාරු” සමහරු ලිව්වා. නරියා ඊට පිළිතුරු ලිව්වා, උසස් සංගීතය රස විඳින්න දුක් මහන්සියෙන් දියුණු කරගත් රුචිකත්වයක් අවශ්‍ය බව පෙන්නා දීලා. ඒ නිසා කැලේ සතුනුත් විලේ වතුරට බැහැලා වෙව්ලමින් දුක් විඳිමින් ගී කියන මාලුවාගේ ගී රස විඳින්න පුරුදු වුනා.
නරියට දැන් පොට පෑදිලා. “මෙච්චර කාලයක් මං විචාර කියලා ලිව්වේ මොනවද? කාටවත් අහු නොවෙන දේවල් හොය හොයා ලියන්න ඕනේ” නරියට හිතුනා.
දවසක් නරියා ගමරාලගේ කුකුළු කොටුව පැත්තේ යනකොට බල්ලා දැක්කා. මොකක් හරි හේතුවකට බල්ලා බොහොම දුකින් උඩුබුරලනවා. ” මොන තරම් අමුතු ගායනයක්ද ඒක” නරියා හිතුවා. “ඉතා දුර්ලභ ගණයේ විරහ ගීයක්” නරියා, කුකුළු කොටුවත් අමතක කරලා බල්ලගේ උඩුබුරලෑම අහන් හිටියා.
පහුවෙනිදා කැලෑ පත්තරේට බල්ලාගේ විරහ ගී ගැන විචාරයක් නරියා ලියලා තිබුනා. මෙන්න බොලේ දැන් කැලේ සත්තු රෑ වෙනකොට කැලේ අද්දරට යනවා බල්ලාගේ සිංදු අහන්න. බල්ලත් ඉතින් හැමදාම රෑට උඩුබුරලනවා. ඒක ටිකක් අහන් ඉන්න අමාරු වුනත්, කැලේ සත්තු අමාරුවෙන් හරි ඒ සිංදු අහන්න පුරුදු වෙමින් හිටියා. හොඳ ගීතයක් රස විඳින්නට නම් අමාරුවෙන් දුක් විඳ ගොඩ නගාගන්නා රුචිකත්වයක් අවශ්‍ය බව දැන් කැලේ සත්තු දන්නවා.
ඔයින් මෙයින් වල්පොල්කිච්චාටත්, පළඟැටියාටත් තිබුණු ඉල්ලුම අඩුවෙන්න පටන් ගත්තා. දැන් කැලේ සත්තුන්ගේ ප්‍රධාන ගායක යුවල ගී කියන මාලුවා සහ බල්ලා.
කැලේ මැදින් ගමනක් යන ඌරෙක් හරි මීමින්නෙක් හරි කාන්සිය නිවා ගන්නට උඩුබුරලන්නටත්, වල්පොල්කිච්චන් සහ ගිරා මලිත්තන් ගී කියන මාලුවාගේ හඬ අනුකරණය කරන්නටත් උත්සාහ කළා.
ඔන්න ඔය විදිහට බල්ලාත් කැලේ සත්තු අතර ‘දිලෙන තරු’ වුනා. ඒ මදිවට ‘බලු සිංදු’ විතරක් නම් මදැයි; දැන් සමහරක් කැලේ සත්තු බල්ලා වගේ කන්පට ගහන්නටත්, කකුලක් උස්සා මුත්‍ර කරන්නටත් පවා පුරුදු වෙමිනුයි හිටියේ. ගායකයෙක්, අනික බල්ලා වගේ ඉහළ පෙලේ ගායකයෙක් වෙන්න පුලුවනි නම් කොච්චර දෙයක්ද?
මේ අතර නරියාගේ ගායකයෙක් වෙන්න තිබුණු පරණ ආසාව ආයෙත් වරක් මතුවෙන්න පටන් ගත්තා. “බල්ලෙකුට ගායකයෙක් වෙන්න පුලුවන් නම් ඇයි නරියෙකුට බැරි?” නරියා හිතුවා.
ඒත් නරියා ඉස්සරවෙලා වගේ හදිසි වුනේ නැහැ. මුලින්ම කැලේ ඉන්න අනික් නරින්ට තාලයට හූ කියන්න කියලා දුන්නා. මේ දවස්වල, නරි රැළ එකතුවෙලා සිංදු කියන්න පුරුදු වෙනවා. ඇහිලා ඇති ඔය සමහර දාට මහ රෑ තිස්සේ එක දිගට නරි හූ කියන සද්දේ.
කොහොමත් තව ටික දවසකින් කැලෑ පත්තරේ නරින්ගේ ගී ගැන නරියෙකුගේ විචාරයක් පලවෙන්න හොඳටම ඉඩ තියෙනවා.
(මේ උපමා කතාව 1989 මැයි මාසයේ ‘විවරණ’ සඟරාවේ පළවුනා.)