හොඳ මිනිහා සහ නරක මිනිහාගේ වේල්ල

fishing

එකෝමත් එක කාලෙක, සමහරවිට අද වගේම එකෝමත් එක කාලෙක, එක මුහුදුබඩ ගම්මානයක් තිබුණා. ඒ ගම්මානය මැදින් පුංචි ගංගාවක් ගලාගෙන ගිහින් මුහුදට වැටුණා. මේ ගඟ දෙපැත්තේ මිනිස්සු බොහොමයක් පදිංචිව හිටියා.

අපේ කතාවේ එන මිනිස්සු දෙන්නා ගෙන් නරක මිනිහා මුහුද ළඟින්ම ගඟ අයිනේ පැලක් අටවා ගෙන මාලු අල්ලා කමින් ජීවත් වුනා.

කතාවේ එන අනික් මනුස්සයා, හොඳ මිනිහා. එයා ජීවත් වුනේ ගඟේ බොහොම ඉහළින් ගඟ අසබඩ ගොවිපොලක. ජීවිකාව ගෙන ගියේ ගොවිතැන් බත් කරලා. එයා කිසිදාක ගඟෙන් මාළු ඇල්ලුවේ නැහැ. හොඳ මිනිහෙක්නේ. එයා ඉතින් ගඟෙන් ප්‍රයෝජනේට ගත්තේ වතුර විතරමයි.

මේ ගඟේත්, මුහුදේත් බොහෝ මාළුවන් හිටියා. තවත් නොයෙකුත් සත්තුත් හිටියා. උන් ජීවත්වෙන්න එක එකා කා ගත්තත් බොහොම සමාදානයෙන් කාලය ගෙනිච්චා.

කාලෙකට මුහුදේත්, තවත් කාලෙකට ගඟේත් ජීවත් වන මාළුවෙකුත් මේ අතර හිටියා. මේ තමයි සැමන් මාළුවා. ඌ ග්‍රීස්ම ඉර්තුවේ බිත්තර දාන්න මුහුදේ ඉඳන් ගඟ දිගේ ඉස්මත්තට පීනාගෙන එනවා. ඇවිත් බිත්තර දාලා ආපහු මුහුදට යනවා. බිත්තර පුපුරලා පැටව් එලියට ආවාම උනුත් මුහුදට පීනාගෙන යනවා. පීනනවට වඩා ගහගෙන යනවා.

දවසක් මේ නරක මනුස්සයට නපුරු නමුත් අපූරු කල්පනාවක් ආවා.

“සැමන් මාළුවා ගඟ ඉස්මත්තට ගිහින් බිත්තර දාලා ආපහු මුහුදට ගියාම, ගඟ හරහා වේල්ලක් බඳින්න ඕනෙ. එතකොට බිත්තර පුපුරලා පහළට එන පැටව් ලොකු වෙන්න ඇරලා ගඟ ඉස්මත්තේදීම අල්ලන් කතෑකි. එතකොට මාළු අල්ලන්න මූදු යන්න ඕනෑ වෙන්නෙත් නැහැ. අනික වැඩිය ඇල්ලුවොත් ටින් කරලා හරි විකුණන්න බැරියැ.”

මෙහෙම හිතපු නරක මිනිහා ග්‍රීස්ම ඉර්තුවේ සැමන් මාළුවා ගඟ ඉස්මත්තේ බිත්තර දාලා යනකම් ඉඳලා ගඟ හරහා වේල්ලක් බැන්දා. ඉතින් බිත්තර පුපුරලා ගහගෙන ආපු සැමන් පැටව් වේල්ල ළඟ හිර වුනා. නරක මිනිහ වේල්ල උඩට වෙලා නිකට අත ගගා හිනා වුනා.

සැමන් මාළු අම්මා මුහුදට වෙලා බලා හිටියා. කොතෙකුත් බලන් හිටියද? ඒත් මෙදා පැටව් මුහුදට එන පාටක් නැහැ. ඈ පැටව් හොයාගෙන ගඟ ඉස්මත්තට පීනන්න පටන් ගත්තා. ඒත් එයාට යන්න පුළුවන් වුනේ වේල්ල ගාවට විතරයි. එතකොට දැන ගත්තා වෙච්චි සංගදිය. දැන් මේ අම්මට හරිම දුකයි, තමන්ගේ පැටවුන් ගැන. එයා කෙලින්ම ගියේ මුහුදේ ඒ හරියේ බලවතා, බලයා හම්බවෙන්න. ගිහින් කිව්වා වෙච්චි සිද්ධිය. ඒ සැරේ බලයටත් හරිම දුකයි. බලයා මේක රා ගොඩුවට කිව්වා.

රා ගොඩුවා, කුම්බලාවට කිව්වා. කුම්බලාවා, හුරුල්ලට කිව්වා. හුරුල්ලා, සාලයාට කිව්වා. සාලයා, හාල්මැස්සට කිව්වා. හාල්මැස්සා, ඉස්සට කිව්වා. එක වංශේ සත්තු නිසා ඉස්සා ඒක කකුළුවාට කිව්වා. කකුලුවා, කැස්බෑවට කිව්වා. ගොඩබිමේ ඉන්න ඉබ්බා, කැස්බෑවගේ ළඟ නෑයෙක් නිසා එයා ඒ පණිවිඩේ ඉබ්බට කිව්වා. ඉතින් ඉබ්බත් ගොඩ බිම දිගේ හනි හනිකට දුවලා වේල්ලත් පහුකර ගෙන හොඳ මිනිහාගේ ගොවිපොළට ගියා.

ගොවිපොළ දැක්කාම ඉබ්බට හරිම පුදුමයි. ඉස්සර වගේ නොවෙයි,දැන් බොහොම සරුයි. ගස් පීදිලා, ගෙඩි බරට බරේ. හේතුව මොකද්ද කියලා බැලින්නම්, ගඟ පහළින් වේල්ල බැන්දට පස්සේ හොඳ මිනිහාගේ ගොවිපොළට වතුරින් අඩුවක් නැහැ. ඒ නිසා එයා හිටියේ බොහොම සතුටින්.

ඉතින් ඉබ්බත් ගොවිපොළට කිට්ටු වෙලා වැට අයිනේ හිටපු එළුවෙකුට මේ පණිවුඩේ දුන්නා. එළුවත් දුවලා දුවලා ගිහින් පණිවුඩය එළදෙනගේ කනේ තිබ්බා. ඉතින් එළදෙනට මේ කතාව අහලා හරිම දුකයි. ඇයි ඉතින් එයත් දරු දුක දන්නා කාගෙ කාගෙත් කිරි අම්මා නොවැ. එයා හොඳ මිනිහාගේ ළඟම මිත්‍රයා, බල්ලා හම්බවෙලා, මේ පණිවුඩයකිව්වා. බල්ලා පොරොන්දු වුනා හොඳ මිනිහට පණිවිඩේ දෙන්න.

බල්ලා ගෙනාපු පණිවිඩේ අහලා හොඳ මිනිහා බොහොම කණගාටු වුනා. “ මං කොහොමද නරක මිනිහට මේක කියන්නේ? එතකොට ඒ මිනිහා බැරිවෙලාවත් වේල්ල ගලවලා දැම්මොත්…මගේ ගොවිපොළ ආයෙත් පාළුවෙලා යාවි” හොඳ මිනිහාගේ මුහුණ දිගේ කඳුළු ගලාගෙන ගියා. එයා ඒ කඳුළු බිංදුවක් අරන් බල්ලගේ අතේ තියලා මෙහෙම කියනවා.

“අනේ! බලු යාළුවේ, මට නම් හරිම දුකයි. මං නෑනේ ඔය නරක මිනිහත් එක්ක කිසිම ගනුදෙනුවක්. අනික මස් මාළු කන උන් එක්ක එහෙම ආස්සරේ කරන්න පුළුවන්ද? එක අතකට මට වඩා කිට්ටුවෙන් නරක මනුස්සයව ආස්සරේ කරන්නේ මාළුන්ම නොවැ. ඒ නිසා උන්ට කියාපන් ඒ මනුස්සයත් එක්ක කතා කරල බලන්න කියලා. මෙන්න මේ කඳුළු බිංදුව උන්ට දීලා මං බොහොම දුක් වෙන බවත් කියාපන්”

ඉතින් බල්ලා වෙන මොනවා කරන්නද? ඌ මේ කඳුළු බිංදුවත් එක්ක පණිවුඩේ එළදෙනට දුන්නා. ඉතින් පණිවුඩෙත් කඳුළු බිංදුවත් එක්ක අතින් අතට ගිහින් අන්තිමේ බලයා අතටම ආවා. බලයා බොහොම දුකින් කඳුළු බිංදුවත් එක්ක පනිවුඩේ සැමන් අම්මට දුන්නා.කඳුලු බිංදුව අතට ගත්තු සැමන් අම්මට දුක වාවගන්න බැරි වුනා. ඒ එක්කම පපුව පැළිලා මළා, දරු දුක දරා ගන්න බැරිව.

සේරොම මාළුන්ටත් හරිම දුකයි. ඉතින් අපිත් ඒ දුක බෙදාගෙන කතාව ඉවර කරමුද?

එතකොට අර හිරවෙලා ඉන්න සැමන් මාළු පැටව්?

අපි තව ටිකක් කල්පනා කරලා බලමු. සමහරවිට හොඳ මිනිස්සුන්ට කරන්න බැරි වුනත් අපට මේක විසඳන්න පුළුවන් වේවි.

 (මේ කතාවේ ඉතිහාස කතාවකුත් තියෙනවා. මේ කතාව තමයි මම “විවරණ” සඟරාවට මුලින්ම ලිව්ව උපමා කතාව. ඉන් පස්සේ සංස්කාරක වින්සන්ට් කුරුඹාපිටිය සහෝදරයා මට ලියුමක් එවනවා, හැම මාසෙකම ඒ වගේ උපමා කතාවක් එවන්න බැරිද කියලා. එදා ඉඳන් මට දිගටම උපමා කතා ලියන්න සිද්ධ වුනා.
මේක පළ වුනේ 1988 නොවැම්බර් මාසේ විවරණ සඟරාවේ වුනත් මේ කතාවේ ඉතිහාසය පටන් ගන්නේ 1976 විතර මම ඉස්කෝලේ උසස් පෙල පන්තියේ ඉන්න කාලේ. ඒ කාලේ තමයි මේක මුලින්ම ලිව්වේ. ඊට පස්සේ ඒ කතාව නාට්‍ය පිටපතක් කළා සිංදු එහෙමත් එක්ක. මේක දුටුව මගේ පොඩි අක්කා ඒ පිටපතින් එයාගේ ඉස්කෝලේ නාට්‍ය තරඟයට නාට්‍යයක් නිෂ්පාදනය කළා. නාට්‍යයේ සිංදු බොහොමයක් තිබුනු නිසා ඒවා සරසවි කලායතනයේ සුගතදාස මාස්ටර් සහ මගේ මාමා දේවානන්ද වෛද්‍යසේකරට දීලා ගී තනු එහෙමත් හදාගත්තා. කොහොම කොහොමෙන් හරි මේ නාට්‍යය වෙනුවෙන් හොඳම පෙළ රචනය, නිෂ්පාදනය සහ හොඳම නාට්‍යයට දෙන සම්මානත් අක්කට හමුවුනා කියමුකෝ. මට හම්බ වුනේ ඒක ප්‍රසිද්ධ වේදිකාවට ගේන දවසේ ශාලාව මැද හරියේ ඉඳන් බලන්න ටිකට් එකක් විතරයි.
හැබැයි ඉන් පස්සේ නම් පොඩි චාන්ස් එකක් ආවා. ඒත් වස කම්මැලියෙක් වෙච්චි මට ඒක ගන්න බැරිවුනා. ඒ කාලේ මහනුවර වැව රවුමේ තිබුනා ‘කුමුදු කලායතනය’ කියලා නැටුම් පන්තියක්. මේ නැටුම් පන්තිය කළේ සම්මානනීය ලමා මුද්‍රා නාට්‍ය කිහිපයක් කරපු කලාගුරු පී.ඩී රත්නපාල. ඔහු තමයි මහාචාර්ය සරත්චන්ද්‍රගේ නාඩගම්වල රංග වින්‍යාසයන් නිර්මාණය කළෙත්. මෙයාගේ ගෝලයින් කිහිප දෙනෙක් අක්කගේ නාට්‍යයේ රඟපෑවා. ඒ නිසා ඔහුත් ඒ නාට්‍යය ප්‍රසිද්ධියේ රඟ දක්වපු දා පැමිණ හිටියා. ඊට පස්සේ සතියේ රත්නපාල මහත්තයා අපේ ගෙදර ඇවිත් නාට්‍යය ගැන මගේ එක්ක පැයක් විතර කතා කරමින් හිටියා. ඔහු කිව්වේ මේක තවත් ටිකක් විස්තාරණය කරලා අපූරුවට ගීතමය මුද්‍රා නාට්‍යයක් කළ හැකි බවට. මගෙන් ඇහැව්වා පුළුවන් නම් පිටපත තව ටිකක් විස්තාරණය කරලා ලියමුද කියලා. ඒත් ඒක කෙතරම් හොඳ අවස්ථාවක්ද කියන එක කම්මැලි මට ඒ කාලේ තේරුණේ නැති නිසා ඒක ලියැවුනේ නැහැ.)
Advertisements

4 thoughts on “හොඳ මිනිහා සහ නරක මිනිහාගේ වේල්ල

  1. මේක කියවන්න ලැබුනේ අහම්බෙන්.
    අනගි හැකියාව.
    මට පේනව, කඳුළු බිඳුවක් අතින් අතට යනව.
    නවකාවකටත් මේක හොඳයි. එය අහවලාගේ අහවල් පොත වගේ තියෙයි කියල මං කියන්නේ නෑ. ඒ මේ නිර්මාණයට කරන මදි පුංචි කමක් නිසා.
    නියමයි සචින්, නියමයි!

    කැමතියි

    • බොහොම ස්තුතියි. ඔබේ ඇගයීම මට බොහෝ වටිනවා. මේ කතන්දරය මුලින්ම ලිව්වේ මම පාසල් යන කාලේ. ඒ කාලෙම ඒ ඇසුරින් නාට්‍ය පිටපතකුත් ලිව්වා. එය මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍යාවන් විසින් වේදිකාවට ගෙනාවා ඒ දවස්වල.1989න් පස්සේ ආයෙත් උපමා කතා ලිව්වෙම/ ලියැවුනේම නැහැ. මේවා ලියැවුනේ ඒ කාලේ හැම මාසෙම ‘විවරණ’ සඟරාවට උපමා කතාවක් ලියන ‘රාජකාරිය’ එහි සංස්කාරක වින්සන්ට් කුරුඹාපිටිය මට පවරා තිබූ නිසා. ඔහු සඟරාවේ සංස්කාරකව ඉන්නා තුරු විතරයි ඒක කළේ.

      මා ලියූ කවි කතන්දර එකතු කැර වෙනම බ්ලොග් එකක් හැදුවා. එතැනටත් ගොඩ වදින්නැයි ආරාධනා කරනවා.
      http://sachingekayikathandara.blogspot.ca/

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )