නරියාගේ ගීත විචාරය

fox fairy

ඔන්න දවසක් නරියට හදිසියේම සිංදුවක් කියන්න හිතුනා. සිංහයෙක් කාලා ඉතිරි කරපු ගොදුරක් අනුභව කරලා ඉස්මුරුත්තාව හැදිලා ඈනුම් අරිමින් ඉන්නා අතරෙයි නරියට මේ කල්පනාව පහළ වුනේ. නරියත් හොඳට හරි බරි ගැහිලා ඉඳගෙන සිංදුව කියන්න පටන් ගත්තා. මොන සිංදුවක් ද? නරියා ගිරිය යටින් හූ කියනවා මිසක. කැලේ සතුන්ට මේක හරි හිරිහැරයක් වුනා. උන් එක එකා ඇවිත් නරියට බැන වැදී ගියා. මුලින් බැන්නේ පුංචි සත්තු. නරියා උන්ට හිනා වුනා. “වැදගත් ශාස්ත්‍රීය සංගීතය රසවිඳින්නට නම් අමාරුවෙන් සංයමයෙන් පුහුණු කර ගත් රුචිකත්වයක් ඕනෑ. මුන්ට කොහෙද එහෙම සංයමයක්?”

අන්තිමට මේ කන්දොස්කිරියාව ඉවසාගන්න බැරිම තැන අලියෙක් ඇවිත් පයින් ඇනලා, හොඬවැලෙන් උස්සලා දෙපාරක් බිම ඇනලා, නරියාව එළවා ගත්තා. එතකොටයි නරියට තේරුණේ ගායකයෙක් වීමත් ලේසි පාසු කටයුත්තක් නොවන බව.

ඉන්පස්සේ ඉබාගාතේ යන අතරේ නරියා මෙහෙම හිතනවා. “මුං මට කරදර කරන්නේ මං සිංදු කියන නිසානේ. හරි; මං සිංදු කීම නවත්තනවා. ඒත්, මං ගීත කලාව දාලා යන්නේ නැහැ, එකෙ එකාට ඕනෙ විදිහට. මින් පස්සේ මං කැලෑ පත්තරේට ගීත කලා විචාර ලියන්න පටන් ගන්නවා.”

ඔන්න ඔහොමයි නරියත් විචාරකයෙක් වුනේ. නරියා එක දිගට ලියන්න වුනා; වල් පොල්කිච්චන්ගේ, ගිරා මලිත්තන්ගේ ගීත ගැනත්, පළඟැටියන්ගේ වීණා වාදන ගැනත්, දිගින් දිගටම ලියන්න පටන් ගත්තා. ඒත් ඒවා කියවපු කිසිම කෙනෙක් ඒ ගැන නරියත් එක්ක කතා කරන්න හොයාගෙන ආවේ නැහැ. ඉතින් නරියගේ හිතට හරි නැහැ. නරියා දවසක් තමන්ම ඉදිරිපත් වෙලා යාලුවෙකුගෙන් අහනවා ” කොහොමද? කැලෑ පත්තරේ යන මගේ ගීත කලා විචාර කියවනවැයි?” කියලා. එතකොට යාලුවා කියාපි, “ඇයි ඕයි, වල්පොල්කිච්චන්ගේ සිංදු ලස්සන බව, පළඟැටියාගේ වීණා වාදනේ මිහිරි බව තමුසේ කියන්න ඕනැයැ. ඇයි අපිත් උපන් දා ඉඳන් රස විඳින්නේ. තමුසේ අපට රසවිඳින හැටි උගන්නන්න එනවද?”

නරියට ලැජ්ජා හිතුනා. ලැජ්ජාවටත් වඩා දුකයි. ඒ ලැජ්ජාව හා දුක වාව ගන්න බැරුව දවස් කීපයක්ම කන්නෙ බොන්නෙ නැතිව හැංගිලා හිටියා. මෙහෙම ඉඳලා බඩගින්න ඉවසන්න බැරිම තැන ගොදුරක් හොයාගෙන යන්න පටන් ගත්තා. සත්තු කීදෙනෙක් පස්සේ එලෙව්වද? ඒත් එක සතෙක් ලඟටවත් කිට්ටු වෙන්න බැහැ. හාමතේ එහෙ මෙහේ විසි වෙවී මොන දඩයම් කිරිල්ලක්ද?

ඔන්න ඔහොම යන අතරේ නරියට ඉබ්බෙක් හමුවුනා. නරියා දුටු හැටියේ ඉබ්බා හිසයි, අත් කකුල් කටුව ඇතුළට අරගෙන නිසොල්මනේ හිටියා. නරියා ඉබ්බාව එහෙට මෙහෙට පෙරලුවා. දෙතුන් පාරක් හැපුවා. ඒත් ඉබි කට්ට බොහොම තදයි. අන්තිමට ඉබ්බා ඔලුව ටිකක් එලියට දමලා, “නරිහාමි, කටුව ටිකක් තද වගෙයි නේද?” කියලා අහපි.

“උඹට බැරිද ඉබ්බෝ කටුව ගලවන් එළියට එන්න? බලපන් දවස් හතකින් මං කෑමක් කාලා නැහැ”

ඉබ්බා කියනවා, ” අනේ නරිහාමි මටත් බොහොම දුකයි. ඒත් කට්ට ගලවන්නේ මොකටද? මාව අරගෙන ගිහින් විලේ ඔබාගෙන හිටියොතින් උඹට පුලුවනි කටුව මෙලෙක් වුනාට පස්සේ කන්න.”

නරියටත් බොහොම සතුටුයි.”හැබැයි බොරු කරන්න හදන්න විතරක් එපා මං උඹව ලේසියෙන් අතහරින්නේ නැහැ.” මෙහෙම කිව්ව නරියා ඉබ්බත් අරගෙන ගිහින් විලට බැහැලා, ඉබ්බා වතුරට දමලා කකුලින් තද කරගෙන හිටියා, පැනල යන්න නොදී. ඔන්න ඔහොම ටික වෙලාවක් ඉඳලා නරියා අහනවා, “ඈ ඉබ්බෝ දැන් පෙඟිලා ඇති නේද?” කියලා.

“අනේ ඔව් නරිහාමි ඇඟේ අනික් හරිය නම් පෙඟිලා. ඒත් ඔහේ පාගන් ඉන්න තැනට තාමත් වතුර අහුවෙලා නැහැ.” කියලා ඉබ්බා උත්තර දුන්නා. නරියා ඒ හරියත් පෙඟෙන්න ටිකක් කකුල බුරුල් කළා විතරයි, මෙන්න බොලේ ඉබ්බා විල මැද්දට පීනා ගියේ නැතැයි හරියට ඉබ්බා දියේ දැම්මා වගේ.

එහෙම ගිහින් නිකම් හිටපන්කෝ. විල මැද ඉඳන් ඔලුව උස්සලා නරියට මහා කෝචොක් හිනාවකුත් දැම්මා. නරියට හරි කේන්තියි; ලැජ්ජයි. ඌ විල මැදට දුවන්න පටන් ගත්තා, ඉබ්බව අල්ල ගන්න. ඒත් වතුරේ ගිලෙන්න යනකොට නැවතුනා.

නරියා දනක් වතුරේ බැහැගෙන වෙච්චි රැවටිල්ලට ලැජ්ජා වෙමින් මොහොතක් හිටියා.

විල මැද්දෙන් බොහොම මිහිරි නාදයක් ඇහෙන්න පටන් ගත්තා. නරියට බඩගින්න අමතක වුනා. ඒ හඬ ඒ තරම්ම මිහිරියි. නරියා තුළ හිටි ගීත කලා විචාරකයා අවදි වුනා. “පුදුම මිහිරි හඬක්. ඇයි මීට ඉස්සර මේ හඬ අහන්න නොලැබුනේ?” නරියා කල්පනා කළා. අන්තිමේ ඒ ගැන මාලුවෙකුගෙන් අහන්න හිතලා තමන්ගේ කකුල ළඟම වැල්ලේ ගිලී නැලවි නැලවි හිටපු වැලිගොව්වෙකුට කතා කරලා අහනවා, “ආ යාලු අර තරම් මිහිරියට ගීත ගයන්නේ කව්ද?”

වැලිගොව්වා නැලවි නැලවීම පිළිතුරු දුන්නා. “ඇයි දන්නේ නැද්ද? ඒ තමයි ගී කියන මාලුවා. මුලු විලේම සත්තු මේ හැන්දෑවට මේ සිංදු අහන්න පුරුදු වෙලයි ඉන්නේ”

හැබෑ තමයි, මුලු විලම නිසොල්මනේ! අඩු ගණනේ ගෙම්බෙක්වත් කෑගහන්නේ නැහැ. සේරොම විලේ ඉන්න සත්තු මාලුවාගේ ගීය අහනවා. නරියත් සීතලේ වෙව්ලමින් ගීය ඉවර වෙන තුරුම වතුරේ බැහැගෙන අහන් හිටියා.

පහුවදාම නරියා කැලෑ පත්තරේට, ගී කියන මාලුවාගේ සුන්දර ගීත ගැන විචාරයක් ලිව්වා. මෙන්න මේ වතාවේ නම් නරියගේ විචාරය පළ දරලා! හැන්දෑවට කැලේ සේරොම වගේ සත්තු ඇවිත් විලට බැහැලා නිසොල්මනේ ගී කියන මාලුවාගේ සිංදු අහන්න පටන්ගෙන. නරියාටත් ඊට පස්සේ කැලෑ පත්තරේ කියවන පාඨකයින් බොහෝ ස්තූති කර තිබුන කර්තෘට ලියුම් තීරයේ, ඒ ගී රස විඳින්නට තමන්ට මග පෙන්නූ ශ්‍රෙෂට විචාරකයා කියලා.

“හැබැයි විලේ වතුරට බැහැලා, සීතලේ වෙව්ලමින්, සිංදු අහන එක තමයි අමාරු” සමහරු ලිව්වා. නරියා ඊට පිළිතුරු ලිව්වා, උසස් සංගීතය රස විඳින්න දුක් මහන්සියෙන් දියුණු කරගත් රුචිකත්වයක් අවශ්‍ය බව පෙන්නා දීලා. ඒ නිසා කැලේ සතුනුත් විලේ වතුරට බැහැලා වෙව්ලමින් දුක් විඳිමින් ගී කියන මාලුවාගේ ගී රස විඳින්න පුරුදු වුනා.

නරියට දැන් පොට පෑදිලා. “මෙච්චර කාලයක් මං විචාර කියලා ලිව්වේ මොනවද? කාටවත් අහු නොවෙන දේවල් හොය හොයා ලියන්න ඕනේ” නරියට හිතුනා.

දවසක් නරියා ගමරාලගේ කුකුළු කොටුව පැත්තේ යනකොට බල්ලා දැක්කා. මොකක් හරි හේතුවකට බල්ලා බොහොම දුකින් උඩුබුරලනවා. ” මොන තරම් අමුතු ගායනයක්ද ඒක” නරියා හිතුවා. “ඉතා දුර්ලභ ගණයේ විරහ ගීයක්” නරියා, කුකුළු කොටුවත් අමතක කරලා බල්ලගේ උඩුබුරලෑම අහන් හිටියා.

පහුවෙනිදා කැලෑ පත්තරේට බල්ලාගේ විරහ ගී ගැන විචාරයක් නරියා ලියලා තිබුනා. මෙන්න බොලේ දැන් කැලේ සත්තු රෑ වෙනකොට කැලේ අද්දරට යනවා බල්ලාගේ සිංදු අහන්න. බල්ලත් ඉතින් හැමදාම රෑට උඩුබුරලනවා. ඒක ටිකක් අහන් ඉන්න අමාරු වුනත්, කැලේ සත්තු අමාරුවෙන් හරි ඒ සිංදු අහන්න පුරුදු වෙමින් හිටියා. හොඳ ගීතයක් රස විඳින්නට නම් අමාරුවෙන් දුක් විඳ ගොඩ නගාගන්නා රුචිකත්වයක් අවශ්‍ය බව දැන් කැලේ සත්තු දන්නවා.

ඔයින් මෙයින් වල්පොල්කිච්චාටත්, පළඟැටියාටත් තිබුණු ඉල්ලුම අඩුවෙන්න පටන් ගත්තා. දැන් කැලේ සත්තුන්ගේ ප්‍රධාන ගායක යුවල ගී කියන මාලුවා සහ බල්ලා.

කැලේ මැදින් ගමනක් යන ඌරෙක් හරි මීමින්නෙක් හරි කාන්සිය නිවා ගන්නට උඩුබුරලන්නටත්, වල්පොල්කිච්චන් සහ ගිරා මලිත්තන් ගී කියන මාලුවාගේ හඬ අනුකරණය කරන්නටත් උත්සාහ කළා.

ඔන්න ඔය විදිහට බල්ලාත් කැලේ සත්තු අතර ‘දිලෙන තරු’ වුනා. ඒ මදිවට ‘බලු සිංදු’ විතරක් නම් මදැයි; දැන් සමහරක් කැලේ සත්තු බල්ලා වගේ කන්පට ගහන්නටත්, කකුලක් උස්සා මුත්‍ර කරන්නටත් පවා පුරුදු වෙමිනුයි හිටියේ. ගායකයෙක්, අනික බල්ලා වගේ ඉහළ පෙලේ ගායකයෙක් වෙන්න පුලුවනි නම් කොච්චර දෙයක්ද?

මේ අතර නරියාගේ ගායකයෙක් වෙන්න තිබුණු පරණ ආසාව ආයෙත් වරක් මතුවෙන්න පටන් ගත්තා. “බල්ලෙකුට ගායකයෙක් වෙන්න පුලුවන් නම් ඇයි නරියෙකුට බැරි?” නරියා හිතුවා.

ඒත් නරියා ඉස්සරවෙලා වගේ හදිසි වුනේ නැහැ. මුලින්ම කැලේ ඉන්න අනික් නරින්ට තාලයට හූ කියන්න කියලා දුන්නා. මේ දවස්වල, නරි රැළ එකතුවෙලා සිංදු කියන්න පුරුදු වෙනවා. ඇහිලා ඇති ඔය සමහර දාට මහ රෑ තිස්සේ එක දිගට නරි හූ කියන සද්දේ.

කොහොමත් තව ටික දවසකින් කැලෑ පත්තරේ නරින්ගේ ගී ගැන නරියෙකුගේ විචාරයක් පලවෙන්න හොඳටම ඉඩ තියෙනවා.

(මේ උපමා කතාව 1989 මැයි මාසයේ ‘විවරණ’ සඟරාවේ පළවුනා.)
Advertisements

4 thoughts on “නරියාගේ ගීත විචාරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )