දෙවියන්ගේ භාෂාව සහ ආසනික්

අප කුඩා කාලයේ කිරි අම්මාවරුන්ගේ දානයක දී නැතිව ම බැරි අම්මා කෙනෙක් අපේ නිවස කිට්ටුව ම විසුවා ය. ගමේ බොහෝ කිරිඅම්මාවරුන්ගේ දානය සඳහා කිරි අලුවා (කිරි කෑලි, කිරියා) හැදෙන්නේ ඇගේ අතිනි. ඈ මේ කාර්යය පටන් ගන්නේ රෑ දෙගොඩ හරියේ වුව අවසන් වන විට උදේ තුන පමණ වේ. මේ රාජකාරිය අවසානයෙහි සිදුවන තවත් සිද්ධියක් තවමත් මගේ මතකයේ ඇත. ඒ ඇයට පත්තිනි දෙවියන් ආවේශ වීමයි. ඉන් පසු ඈ පත්තිනි මෑණියන්ට කතා කරන්නීය. ඒ දෙවියන්ගේ භාෂාවෙනි. එය තේරෙන්නේ ඇයටත්, පත්තිනි මෑණියන්ටත් පමණි. එහෙත් ඒ ආවේශයෙන් ම එය සිංහලට හරවා තමා වටා සිටින අයට පැවසීමට ඇය කාරුණික වන්නීය. මේ සිද්ධිය අවසන් වන්නේ ඇය කිහිප වතාවක් වෙව්ලා සිහි නැති වීමෙන් අනතුරුවයි. ඉන් පසු ඇගේ මුහුණට සිසිල් කහ වතුර ස්වල්පයක් ඉසීමෙන් පසු ඇය මේ කිසිවක් නොවූ අයුරින් නැගිට අනිකුත් සාමාන්‍ය කාර්යයන්හි යෙදෙන්නීය.
මේ ආකාරයට දෙවියන් හා ගණුදෙනු කරන පුද්ගලයින් කිහිපදෙනෙකු මට හමු වී තිබේ. මේ අතර දැනට දිව්‍ය ලෝකයෙහි දෙවියෙකු වී ඉපිද සිටින සීයා හීනෙන් පැමිණ කියා දෙන ලද බෙහෙතකින්, සෙංගමාලයට වෙදකම් කරන ප්‍රසිද්ධ වෙදමහතෙකු මට ඌව පළාතේ දී හමු වී තිබේ.
ස්වදේශීය වෛද්‍ය විද්‍යාලයේ (දැන් දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ) අවුරුදු තුනක් ඉගෙනුම ලබා සංස්කෘත විෂයය සමත් විය නොහැකි ව පාඨමාලාව හැරගොස් පසුව පාරම්පරික ගෙඩි වණ වෙදමහතෙකු ලෙස ලියා පදිංචි වී වෙදකමට බට, එකල ඇදුමට නොවරදින වෛද්‍යවරයා ලෙස ප්‍රසිද්ධ වූ පුද්ගලයෙකු වරක් අප හමුවේ මේ දෙවියන්ගෙන් ලද තෑග්ගක් ගැන අපූරු කතාවක් කියන ලදී.
එවකට ඔහු පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි අතර, පුවත්පත් දැන්වීම් හරහා මුලු ලංකාවම දැන සිටියේ ‘ඇදුමට නොවරදින වෛද්‍යවරයා’ ලෙසිනි. මේ කතාව ඔහු ඒ නමට හිමිකම් කියූ ආකාරය ගැනයි.
දිනක් සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසුණු ගම්බද තරුණයෙකු තමන්ගේ බෙහෙත් ශාලාවට පැමිණ සේවකයින් හා කලහ කරමින් තමා හමුවන්නට අවශ්‍ය බවට කරන ලද විශාල කාලගෝට්ටියක් විය. පසුව මේ තරුණයා ඇතුළට කැඳවා කතා කළ පසු ඔහු කළ ප්‍රකාශය මෙලෙසයි.
“දොස්තර මහත්තයා, මගේ සීයා දැන් ඉන්නේ දිව්‍යලෝකයේ දෙවියෙක් වෙලා. ඊයේ රෑ එයා හීනෙන් ඇවිත් මට ඇදුමට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් කිව්වා. හැබැයි මේ වට්ටෝරුව කාටවත් දෙන්න එපා. දෙනවා නම් දිය යුත්තේ අහවල් දොස්තර මහත්තයාට විතරයි කියලත් කිව්වා. ඒකයි මහත්තයෝ මං මහත්තයාව හොයාගෙන ආවේ”
ඉන්පසු ඔහු මේ වට්ටෝරුව අනුව බෙහෙතක් නිපදවා තිබේ. පසුව මේ ඖෂධය ආයුර්වේදයේ එන පිප්ඵල්‍යාද්‍යාසවය හා මිශ්‍ර කර සිය රෝගීන්ට දෙන ලදී. කෙසේ හෝ වේවා ඒ බෙහෙතට බොහෝ ඇදුම රෝගීන් වහා සුව වූ බව ඔහු පවසයි. මෙහි ඊළඟ පියවර වූයේ සාමාන්‍යයෙන් ලංකාවේ දී වන පරිදි ම ඔහු ඒ ඖෂධයට බටහිර ඖෂධයක් වූ ප්‍රෙඩ්නිසිලෝන් අධිමාත්‍රාවෙන් මිශ්‍ර කර දෙන බවට වූ චෝදනාවයි. එහෙත් ඔහු අප හා සහතික කරමින් කීවේ, තමන් වෙදකමේ දී බොහෝ තක්කඩි වැඩ කර තිබුනත් මේ බෙහෙතෙහි ඉහත කී තරුණයා දුන් වට්ටෝරුව හැර තිබුනේ පිප්ඵල්‍යාද්‍යාසවය පමණක් බවයි.
ඔහුගේ කතාව නැවත මතක් කරන විට මට මා පෞද්ගලික වෛද්‍යවෘත්තියේ යෙදී සිටිය දී මට ලැබුණු අත්දැකීමක් නිතැතින් ම සිහි වේ. වරක් දැඩි ලෙස ඇදුම රෝගයෙන් පෙළෙන කාන්තාවක ප්‍රතිකාර පිණිස මා වෙත ආවාය. ඇය දැක්වූ රෝග ලක්ෂණ වඩාත් සමපාත වූයේ ආයුර්වේදයෙහි එන තමක ශ්වාස ප්‍රභේදයකට වඩා, අපේ දේශීය වෙදකමෙහි පීනස් රෝග අතර එන ‘හොටු පීනස’ සමඟ වන නිසා හොටු පීනස සඳහා වූ දේශීය ප්‍රතිකාර පද්ධතියක් ඇසුරින් ප්‍රතිකාර කරන්නට පටන් ගතිමි. ඇයගේ රෝග තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් සුව අතට පත් වූ අතර, මාස හයක පමණ කාලයක දී ඇයට සහමුලින් එම රෝග තත්ත්වයෙන් මිදෙන්නට හැකි විය.
මෙයින් මාස කිහිපයකට පසු දිනෙක ඇය බොහෝ කලබලයෙන් දිවගෙන විත් මගේ බෙහෙත් ශාලාවට ගොඩ විය. එසේ පැමිණි ඇය ඇසූ පළමු ප්‍රශ්නය වූයේ, ” වෙදමහත්තයා මට දුන්නු බෙහෙතට කිසියම් ඉංග්‍රීසි බෙහෙතක් මිශ්‍ර කළාද?” යන්නයි.
එසේ නොමැති බවත් මා භාවිත කළ සියලුම ඖෂධ වාගේ මා විසින් ම ස්වාභාවික ශාක ආශ්‍රිත අමුද්‍රව්‍යයන්ගෙන් පිළියෙල කර ගත් ඒවා බවත් පැවසූ මම, ඇය එසේ අසන්නට හේතු වූ කාරණය කවරේදැයි විමසන්නට පසුබට නොවීමි.
“අපේ පවුලේ වෛද්‍යවරයා වූ බටහිර දොස්තර මහත්තයා හමු වූ වෙලාවක, මගේ ඇදුම රෝග තත්ත්වය ගැන ඇහැව්වා. මා කිව්වා ඒක දැන් නිට්ටාවට ම සනීපයි වෙදමහත්තයෙකුගෙන් බෙහෙත් ගත්තට පස්සේ කියලා. එතකොට දොස්තර මහත්තයා කියනවා ඔබට තිබුණු ඇදුම රෝගය එහෙම නිට්ටාවට සනීප කරන්න පුලුවන් ජගතෙක් තාම ලෝකයේ පහළ වෙලා නැහැ. හැබැයි අපේ සමහර බෙහෙත් තියෙනවා වැරදි විදිහට දුන්නොත් ඇදුම නම් නැති වෙනවා, හැබැයි වැඩි කලක් යන්න කලින් වෙන භයානක ලෙඩක් හැදිලා ලෙඩා මැරිලා යනවා. ඔය වෙදමහත්තුරු කරන්නේ ඒ බෙහෙත අධිමාත්‍රාවෙන් ඒගොල්ලන්ගේ ඒවට කලවම් කරලා දෙන එක කියලා.
මම හොඳටම බය වුනා. ඒකයි හනික දුවලා ආවේ. වෙදමහත්තයා කිව්වට පස්සෙයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. මහත්තයා දන්නවද මේ ලෙඩේ නිසා එක පාරක් මං සිය දිවි හානි කරගන්නත් හදලා තියෙනවා. ඒත් දැන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.”
ආයුර්වේදය පැමිණියේද දිව්‍ය ලෝකයෙනි. ඍෂි සම්මේලනයට එය රැගෙන ආවේ දෙවිවරුන් විසින් බව එහි ඉතිහාසයෙහි සඳහන් වේ. එය මුලින් ම එන්න ඇත්තේ ද දෙවියන්ගේ භාෂාවෙනි. එහෙත් සමහර වෙලාවට ඒ භාෂාවට උත්තර නොමැති ප්‍රශ්නවලට අපේ දේශීය වෙදකමේ භාෂාවේ උත්තර තිබේ. මේ බව අපි ප්‍රායෝගිකව වෙදකම් කරනා කාලයේ අත්දැකීමෙන් දැන සිටියෙමු. ආයුර්වේද චිකිත්සා පද්ධති හරියටම හරියන්නේ ඒ භාෂාවෙන්ම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කරන්නට හැදුවොත් පමණි. නවීන වෛද්‍ය විද්‍යාවේ භාෂාවෙන් රෝගය හඳුනාගෙන ඒ හා කිට්ටු ආයුර්වේද ලෙඩකට හරියන බෙහෙත් දුන්විට ඒ ප්‍රතිඵලය නොලැබෙන බව අප අත්දැක තිබේ.
මේ සියල්ල ගෙන යන වාහකයා වන්නේ එය ගෙනියන භාෂාවයි.
ඉහත කී දොස්තර මහතා එම රෝගය නිට්ටාවට සුවකළ නොහැකි යැයි සිතන්නේ ඔහු ඒ එක් භාෂාවක් පමණක් පරිශීලනය කළ හෙයිනි. ඔහුගේ භාෂාවේ ඒ ප්‍රශ්නයට තවම උත්තර නැත. නැතිනම් උත්තර හොයමින් තිබේ.
මා මේ රෝගියාගේ ලක්ෂණ ආයුර්වේද භාෂාවෙන් ආසන්නතම ශ්වාස ප්‍රභේදය අනුව හඳුනා ගෙන එයට ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියකින් ප්‍රතිකාර කළේ නම් ඇයට සුව නොවන්නට ඉඩ තිබුණි.
අපේ සම්‍යක් දෘෂ්ටික දේශීය දෙවිවරුන්ටත් භාෂාවක් තිබේ. ඒ දෙවිවරුන් දැකිය හැකි හා ඔවුන් හා ගණුදෙනු කරන මිනිසුන් එය කරන්නේ ඒ දේව භාෂාවෙනි.
පහුගිය කාලයක නාථ දෙවියන් හා ගණුදෙනු කළ එක්තරා කාන්තාවකට රජරට වකුගඩු රෝගයට හේතුව ‘ආසනික්’ බව එතුමා කියා තිබුණි. එවිට එකෙනෙහිම මට පැන නැගුණු පැනය වුනේ, හැබෑවට ම හේතුව ආසනික්ද යන්න නොවේ. සම්‍යක් දෘෂ්ටික දෙවිකෙනෙකුට වරදින්නට බැරිය. මගේ කුහුල වූයේ ආසනික්වලට දෙවියන්ගේ භාෂාවෙන් කීවේ කුමක්ද යන්නයි.
අපේ රටේ ඉපිද හැදී වැඩුණු අපේ දේශීය දෙවියෙකු වූ නාථ දෙවියන් වහන්සේ නම් එය ආසනික් කියා නොකියන්නට ඇතැයි ටක්කෙට ම දනිමි.