අබ්බාස් කියරොස්තමි ගේ ” The Wind Will Carry Us” චිත්‍රපටය ඉතා සෙමින් ගලා යන, සමහර විට තව දුරටත් නොබලන්නෙමියි හිතන තරම් සෙමින් දිවෙන චිත්‍රපටයක්. ඒ ඔහුගේ ශෛලිය. ඔහුගේ අයත් වන්නේ ඉරානයේ දාර්ශනික පක්ෂයට අයත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතරට.
මේ චිත්‍රපටය ආරම්භ වන්නේ නගරයේ සිට ඉතා ඈත පිටිසර ගම්මානයකට එන කණ්ඩායමකින්. මේ අය එන්නේ ඔවුන්ට ලැබෙන කොන්ත්‍රාත්තුවකට ගමේ සාම්ප්‍රදායික අවමංගල්‍ය උත්සවයක් රූ ගත කිරීමට. හැබැයි තවම කවුරුත් මිය ගිහින් නැහැ. ඒත් ගමේ රෝගී මහලු කාන්තාවක් ඉන්නවා කුමන වේලාවේ හෝ මිය යා හැකි. ඔවුන් පැමිණෙන්නේ කුමන මොහොතේ හෝ ඇය මිය ගියොත් ඒ අවස්ථාවේ පටන් එය රූ ගත කිරීමට. මේ කොන්ත්‍රාත්තුව බාර දෙන නිෂ්පාදිකාව ඉන්නේ නගරයේ. ඔවුන් රූ ගත කරන්න ආවා කීවත් චිත්‍රපටයේ කිසිම තැනෙක කුඩා නිසල රූ කැමරාවක් හැර වෙනත් මෙවලම් තිබෙන බවක් පෙන්වන්නේ නැහැ.
මුලු චිත්‍රපටය පුරා දිවෙන්නේ නිරන්තරයෙන් නැවත නැවතත් සිදුවන එකම වගේ සිද්ධි කීපයක්.
1. පැමිණි කණ්ඩායමේ නායකයා (ඔහු ) ඔවුන් කැඳවා ගෙන එන කුඩා දරුවා එක්ක කරන සංවාද. ඒ දරුවා නිරන්තරයෙන් කතා කරන්නේ ඔහුගේ පාසලේ වැඩ විභාග ගැන.
2. ඔවුන් නැවතී ඉන්නා ගෘහය අයිති ගෘහණිය සහ කණ්ඩායම් නායකයා (ඔහු ) අතර ඇතිවන සංවාදයන්.
3. දිනපතා කොන්ත්‍රාත්තුවේ නිෂ්පාදිකාව විසින් කරනු ලබන දුරකතන ඇමතුම් වලට දෙන පිළිතුරු. ඇය දිනපතා අහන්නේ එකම ප්‍රශ්නය විය යුත්තේ (ඇගේ කතාව ගැන ඉඟියක් අපට ලැබෙන්නේ ඔහුගේ පිළිතුරුවලින් පමණයි ) ” ඈ මැරුණේ නැද්ද තවමත්?” කියන ප්‍රශ්නය. මේ සිදුවීමේ අපූර්වත්වය වන්නේ, ඒ දුරකථන ඇමතුම එන සෑම වාරයක් පාසා සිග්නල් නොමැති නිසා ඔහුට ඔවුන්ගේ ජීප් රථයේ නැගී ගමේ උස් කඳු මුදුනක තිබූ සොහොන් බිමට යන්නට සිදුවීම. එතැන දී, මිය යන අය මිහිදන් කිරීමට තනියම වලවල් කපන මිනිසා එක්ක කරන සංවාදය.
මේ ඒකාකාරී සංවාදයන් නැවත නැවතත් අපට එපා වන තරමටම සිදු වෙනවා. චිත්‍රපටයේ ප්‍රස්තුතය ගොඩ නැගෙන්නේ ඒ හරහා.
වරක් සොහොන් බිමේ වලවල් කපමින් ඉන්නා මිනිසා ඉහළින් ඇති පස් කඳු කඩා වැටී පණ පිටින් වැළලෙන්නට යන විට ඒ අවස්ථාවේ එතැනට දුරකතන සංවාදයට පැමිණ සිටින ඔහු, වහා ගමට ගොස් මිනිසුන් රැගෙන විත් ඒ තැනැත්තා බේරා ගෙන ඔහුගේ ජීප් රථයෙන්ම රෝහලට යවනවා.
මැරෙන්නට වැටී ඇති ගැහැණියට අවශ්‍ය බෙහෙත් ගෙන ඒමට නගරයට යන්නෙත් ඔහු. මරණයක් බලාපොරොත්තුවෙන් පැමිණි ඔහු ක්‍රම ක්‍රමයෙන් ඔවුන් ජීවත් කරවීම දෙසට ගමන් කරන ආකාරය කියරොස්තමි ඉතා ඉවැසිල්ලෙන් ගොඩ නගන ආකාරය අපූරුයි. කෙසේ හෝ මේ චිත්‍රපටය අවසානයේ මේ රෝගී කාන්තාව මිය යනවා. එහෙත් ඒ අවමංගල්‍ය උත්සවය රූ ගත කිරීමට ඔවුන් ගමේ නවතින්නේ නැහැ. ඒ වෙනුවට අවමගුලට පැමිණෙන ගැහැණුන් කිහිප දෙනෙකුගේ නිසල රූ කිහිපයක් පමණක් ගනු පෙන්වනවා.
චිත්‍රපටය අවසන් වන්නේ මේ කණ්ඩායම අවමඟුල් උත්සවයට නොසිට නැවත ගම හැර යන ජවනිකාවෙන්.