The Wind Will Carry Us (1999) Abbas Kiarostamy

අබ්බාස් කියරොස්තමි ගේ ” The Wind Will Carry Us” චිත්‍රපටය ඉතා සෙමින් ගලා යන, සමහර විට තව දුරටත් නොබලන්නෙමියි හිතන තරම් සෙමින් දිවෙන චිත්‍රපටයක්. ඒ ඔහුගේ ශෛලිය. ඔහුගේ අයත් වන්නේ ඉරානයේ දාර්ශනික පක්ෂයට අයත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතරට.

මේ චිත්‍රපටය ආරම්භ වන්නේ නගරයේ සිට ඉතා ඈත පිටිසර ගම්මානයකට එන කණ්ඩායමකින්. මේ අය එන්නේ ඔවුන්ට ලැබෙන කොන්ත්‍රාත්තුවකට ගමේ සාම්ප්‍රදායික අවමංගල්‍ය උත්සවයක් රූ ගත කිරීමට. හැබැයි තවම කවුරුත් මිය ගිහින් නැහැ. ඒත් ගමේ රෝගී මහලු කාන්තාවක් ඉන්නවා කුමන වේලාවේ හෝ මිය යා හැකි. ඔවුන් පැමිණෙන්නේ කුමන මොහොතේ හෝ ඇය මිය ගියොත් ඒ අවස්ථාවේ පටන් එය රූ ගත කිරීමට. මේ කොන්ත්‍රාත්තුව බාර දෙන නිෂ්පාදිකාව ඉන්නේ නගරයේ. ඔවුන් රූ ගත කරන්න ආවා කීවත් චිත්‍රපටයේ කිසිම තැනෙක කුඩා නිසල රූ කැමරාවක් හැර වෙනත් මෙවලම් තිබෙන බවක් පෙන්වන්නේ නැහැ.

මුලු චිත්‍රපටය පුරා දිවෙන්නේ නිරන්තරයෙන් නැවත නැවතත් සිදුවන එකම වගේ සිද්ධි කීපයක්.

1. පැමිණි කණ්ඩායමේ නායකයා (ඔහු ) ඔවුන් කැඳවා ගෙන එන කුඩා දරුවා එක්ක කරන සංවාද. ඒ දරුවා නිරන්තරයෙන් කතා කරන්නේ ඔහුගේ පාසලේ වැඩ විභාග ගැන.

2. ඔවුන් නැවතී ඉන්නා ගෘහය අයිති ගෘහණිය සහ කණ්ඩායම් නායකයා (ඔහු ) අතර ඇතිවන සංවාදයන්.

3. දිනපතා කොන්ත්‍රාත්තුවේ නිෂ්පාදිකාව විසින් කරනු ලබන දුරකතන ඇමතුම් වලට දෙන පිළිතුරු. ඇය දිනපතා අහන්නේ එකම ප්‍රශ්නය විය යුත්තේ (ඇගේ කතාව ගැන ඉඟියක් අපට ලැබෙන්නේ ඔහුගේ පිළිතුරුවලින් පමණයි ) ” ඈ මැරුණේ නැද්ද තවමත්?” කියන ප්‍රශ්නය. මේ සිදුවීමේ අපූර්වත්වය වන්නේ, ඒ දුරකථන ඇමතුම එන සෑම වාරයක් පාසා සිග්නල් නොමැති නිසා ඔහුට ඔවුන්ගේ ජීප් රථයේ නැගී ගමේ උස් කඳු මුදුනක තිබූ සොහොන් බිමට යන්නට සිදුවීම. එතැන දී, මිය යන අය මිහිදන් කිරීමට තනියම වලවල් කපන මිනිසා එක්ක කරන සංවාදය.

මේ ඒකාකාරී සංවාදයන් නැවත නැවතත් අපට එපා වන තරමටම සිදු වෙනවා. චිත්‍රපටයේ ප්‍රස්තුතය ගොඩ නැගෙන්නේ ඒ හරහා.

වරක් සොහොන් බිමේ වලවල් කපමින් ඉන්නා මිනිසා ඉහළින් ඇති පස් කඳු කඩා වැටී පණ පිටින් වැළලෙන්නට යන විට ඒ අවස්ථාවේ එතැනට දුරකතන සංවාදයට පැමිණ සිටින ඔහු, වහා ගමට ගොස් මිනිසුන් රැගෙන විත් ඒ තැනැත්තා බේරා ගෙන ඔහුගේ ජීප් රථයෙන්ම රෝහලට යවනවා.

මැරෙන්නට වැටී ඇති ගැහැණියට අවශ්‍ය බෙහෙත් ගෙන ඒමට නගරයට යන්නෙත් ඔහු. මරණයක් බලාපොරොත්තුවෙන් පැමිණි ඔහු ක්‍රම ක්‍රමයෙන් ඔවුන් ජීවත් කරවීම දෙසට ගමන් කරන ආකාරය කියරොස්තමි ඉතා ඉවැසිල්ලෙන් ගොඩ නගන ආකාරය අපූරුයි. කෙසේ හෝ මේ චිත්‍රපටය අවසානයේ මේ රෝගී කාන්තාව මිය යනවා. එහෙත් ඒ අවමංගල්‍ය උත්සවය රූ ගත කිරීමට ඔවුන් ගමේ නවතින්නේ නැහැ. ඒ වෙනුවට අවමගුලට පැමිණෙන ගැහැණුන් කිහිප දෙනෙකුගේ නිසල රූ කිහිපයක් පමණක් ගනු පෙන්වනවා.

චිත්‍රපටය අවසන් වන්නේ මේ කණ්ඩායම අවමඟුල් උත්සවයට නොසිට නැවත ගම හැර යන ජවනිකාවෙන්.

The Mirror ප්‍රතිබිම්බය – ජෆාර් පනාහි

ඔබ සිහින දැක තිබෙනවාද? සිහිනයකදී කිසියම් ගමනක් යද්දී එය නිමවී යා යුතු තැනට යන්නට නොහැකි වී එක තැන ටැග්වී ඉන්නා අත්දැකීම ලැබී තිබෙනවාද? එසේ තිබෙනවා නම් එවැනි අත්දැකීමක් චිත්‍රපටයකින් ලබා ගත හැකි තැනක් තමයි ජෆාර් පනාහි ගේ මිරර් චිත්‍රපටය.
මේ චිත්‍රපටය පටන් ගන්නේ ප්‍රාථමික පාසලක් ඇරිලා ලමුන් එළියට දුවගෙන එන කලබැගෑනියක් එක්ක. ඉන්පසු මේ කලබැගෑනිය ක්‍රමයෙන් පහවන විට තිරයේ ඉතුරු වෙනවා එක් දැරියක්; වයස අවුරුදු 7-8ක විතර එක අතක් බිඳී උරමාවකින් එල්ලා ගෙන ඉන්නා. ඇය පාසල ඇරී ගෙදර රැගෙන යන්නට කවුරු හෝ එනතුරු ඉන්නවා වගෙයි. එක් අවස්ථාවක දී පාසලෙන් එළියට එන පාසලේ සේවය කරන කාන්තාවකට ඇය ප්‍රකාශ කර සිටිනවා තමා ගෙදර රැගෙන යන්නට වෙනදා එන අම්මා තවම පැමිණියේ නැති බව.එතැනදී ඒ කාන්තාව කරන්නේ එය වගකීමක් සේ නොගෙන මග හැර යාම. එහෙත් නැවත නැවතත් මේ දැරිය ඇය වෙතම එනකොට, ඇය මේ දැරිය අම්මා සමඟ ගොස් බසයට නගින බස් නැවතුම්පොලට ඇරලවීමට ස්කූටරයකින් එන ආගන්තුකයෙකුට බාර දෙනවා. මේ ආගන්තුකයා ඇය බස් නැවතුමට ඇරලවන අතර (මේ අතරතුර තව බොහෝ සිද්ධි සිදුවෙනවා. ඒවා චිත්‍රපටිය බලන අයට බාධාවක් වන නිසා කියන්නේ නැහැ ) ඉන් පසු ඇරඹෙන්නේ ගෙදර යාමට නැගිය යුතු බසය හරි හැටි නොදැන එක් බසයකින් තවත් බසයකට මාරුවෙමින් ඇය කර ගෙන යන අරගලය.
චිත්‍රපටය බලන උදවිය අර අප දකින හීනයේ දී වගේ ඉවසිල්ලේ සීමාව පැන නින්දෙන් අවදි වන අවස්ථාව වගේ නොඉවසිලි අවස්ථාවකට ජාෆර් අපව රැගෙන යනවා. එතැන දී මේ කුඩා දැරිය එකපාරටම “මට තව දුරටත් මේ රඟපෑම කරන්න බැහැ. මට ගෙදර යන්න ඕනේ” කියා උරමාවත් අතට දමා තිබූ ප්ලාස්ටරයත්, පාසල් නිල ඇඳුමත් ගලවා ඉවත ලනවා. එතකොට තමයි චිත්‍රපටය බලන අපත් අප සිටි හීනෙන් අවදි වන්නේ. මේක චිත්‍රපටයක ජවනිකාවක්. දැරිය එහි නිළියක්. දැන් තිරයේ ඉන්නේ ඇය සහ ෆිල්ම් කෲ එක.
මේ චිතරපටය මේ වන තෙක් මම බලමින් උන්නේ මගේ බිරිඳත් එක්ක. භාව ලීල සහිත චිත්‍රපට ප්‍රිය කරන ඇය මේ දක්වා පුදුම උද්යෝගයකින් හා නොඉවැසිල්ලකින් බලා හිටියේ මේ ලමයා ගෙදර යයිද නැත්නම් මගදී වෙන අලකලංචියක් වෙයිද කියන කුතුහලයෙන්. මේ සිදුවීමත් එක්ක ඇගේ බලාපොරොත්තු බිඳ වැටී, “මේ මොන විකාරයක්ද?” කියා චිත්‍රපටය බැලීමෙන් ඉවත්ව අනෙක් ඇලයට හැරී ඇය නින්දට යනවා. (මට මතක් වන්නේ ධර්මසේන පතිරාජගේ “පාරදිගේ” චිත්‍රපටය නරඹද්දී එක් අවස්ථාවක ඉවසීමේ සීමාව පැන සමහර ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවෙන් නැගිට ඉවත්ව ගිය හැටි ) ඒත් චිත්‍රපටයේ අපූරුතම ප්‍රතිබිම්බ අවස්ථාව පටන් ගන්නේ ඊට පස්සේ. එතැන් පටන් චිත්‍රපටයේ දිවෙන්නේ මේ දැරිය තනිවම තමන්ගේ ගෙදර සොයාගෙන යන්නට කරන අරගලය. ඇය දන්නවා ගෙදර තිබෙන්නේ කොහේද යන වග. ඒත් යන පාර දන්නේ නැහැ.
ඔබත් කැමති නම් පහත ලින්ක් එකෙන් චිත්‍රපටය බලන්න පුලුවන්. ඔබ දැක පුරුදු චිත්‍රපට ලෝකයෙන් ඔබ්බට ඔබව ජාෆර් ගෙනයාවි ඒ සඳහා ඔබට ඉවැසිල්ලක් තිබුනොත් විතරක්.

දෙවියන්ගේ භාෂාව සහ ආසනික්

අප කුඩා කාලයේ කිරි අම්මාවරුන්ගේ දානයක දී නැතිව ම බැරි අම්මා කෙනෙක් අපේ නිවස කිට්ටුව ම විසුවා ය. ගමේ බොහෝ කිරිඅම්මාවරුන්ගේ දානය සඳහා කිරි අලුවා (කිරි කෑලි, කිරියා) හැදෙන්නේ ඇගේ අතිනි. ඈ මේ කාර්යය පටන් ගන්නේ රෑ දෙගොඩ හරියේ වුව අවසන් වන විට උදේ තුන පමණ වේ. මේ රාජකාරිය අවසානයෙහි සිදුවන තවත් සිද්ධියක් තවමත් මගේ මතකයේ ඇත. ඒ ඇයට පත්තිනි දෙවියන් ආවේශ වීමයි. ඉන් පසු ඈ පත්තිනි මෑණියන්ට කතා කරන්නීය. ඒ දෙවියන්ගේ භාෂාවෙනි. එය තේරෙන්නේ ඇයටත්, පත්තිනි මෑණියන්ටත් පමණි. එහෙත් ඒ ආවේශයෙන් ම එය සිංහලට හරවා තමා වටා සිටින අයට පැවසීමට ඇය කාරුණික වන්නීය. මේ සිද්ධිය අවසන් වන්නේ ඇය කිහිප වතාවක් වෙව්ලා සිහි නැති වීමෙන් අනතුරුවයි. ඉන් පසු ඇගේ මුහුණට සිසිල් කහ වතුර ස්වල්පයක් ඉසීමෙන් පසු ඇය මේ කිසිවක් නොවූ අයුරින් නැගිට අනිකුත් සාමාන්‍ය කාර්යයන්හි යෙදෙන්නීය.
මේ ආකාරයට දෙවියන් හා ගණුදෙනු කරන පුද්ගලයින් කිහිපදෙනෙකු මට හමු වී තිබේ. මේ අතර දැනට දිව්‍ය ලෝකයෙහි දෙවියෙකු වී ඉපිද සිටින සීයා හීනෙන් පැමිණ කියා දෙන ලද බෙහෙතකින්, සෙංගමාලයට වෙදකම් කරන ප්‍රසිද්ධ වෙදමහතෙකු මට ඌව පළාතේ දී හමු වී තිබේ.
ස්වදේශීය වෛද්‍ය විද්‍යාලයේ (දැන් දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ) අවුරුදු තුනක් ඉගෙනුම ලබා සංස්කෘත විෂයය සමත් විය නොහැකි ව පාඨමාලාව හැරගොස් පසුව පාරම්පරික ගෙඩි වණ වෙදමහතෙකු ලෙස ලියා පදිංචි වී වෙදකමට බට, එකල ඇදුමට නොවරදින වෛද්‍යවරයා ලෙස ප්‍රසිද්ධ වූ පුද්ගලයෙකු වරක් අප හමුවේ මේ දෙවියන්ගෙන් ලද තෑග්ගක් ගැන අපූරු කතාවක් කියන ලදී.
එවකට ඔහු පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි අතර, පුවත්පත් දැන්වීම් හරහා මුලු ලංකාවම දැන සිටියේ ‘ඇදුමට නොවරදින වෛද්‍යවරයා’ ලෙසිනි. මේ කතාව ඔහු ඒ නමට හිමිකම් කියූ ආකාරය ගැනයි.
දිනක් සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසුණු ගම්බද තරුණයෙකු තමන්ගේ බෙහෙත් ශාලාවට පැමිණ සේවකයින් හා කලහ කරමින් තමා හමුවන්නට අවශ්‍ය බවට කරන ලද විශාල කාලගෝට්ටියක් විය. පසුව මේ තරුණයා ඇතුළට කැඳවා කතා කළ පසු ඔහු කළ ප්‍රකාශය මෙලෙසයි.
“දොස්තර මහත්තයා, මගේ සීයා දැන් ඉන්නේ දිව්‍යලෝකයේ දෙවියෙක් වෙලා. ඊයේ රෑ එයා හීනෙන් ඇවිත් මට ඇදුමට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් කිව්වා. හැබැයි මේ වට්ටෝරුව කාටවත් දෙන්න එපා. දෙනවා නම් දිය යුත්තේ අහවල් දොස්තර මහත්තයාට විතරයි කියලත් කිව්වා. ඒකයි මහත්තයෝ මං මහත්තයාව හොයාගෙන ආවේ”
ඉන්පසු ඔහු මේ වට්ටෝරුව අනුව බෙහෙතක් නිපදවා තිබේ. පසුව මේ ඖෂධය ආයුර්වේදයේ එන පිප්ඵල්‍යාද්‍යාසවය හා මිශ්‍ර කර සිය රෝගීන්ට දෙන ලදී. කෙසේ හෝ වේවා ඒ බෙහෙතට බොහෝ ඇදුම රෝගීන් වහා සුව වූ බව ඔහු පවසයි. මෙහි ඊළඟ පියවර වූයේ සාමාන්‍යයෙන් ලංකාවේ දී වන පරිදි ම ඔහු ඒ ඖෂධයට බටහිර ඖෂධයක් වූ ප්‍රෙඩ්නිසිලෝන් අධිමාත්‍රාවෙන් මිශ්‍ර කර දෙන බවට වූ චෝදනාවයි. එහෙත් ඔහු අප හා සහතික කරමින් කීවේ, තමන් වෙදකමේ දී බොහෝ තක්කඩි වැඩ කර තිබුනත් මේ බෙහෙතෙහි ඉහත කී තරුණයා දුන් වට්ටෝරුව හැර තිබුනේ පිප්ඵල්‍යාද්‍යාසවය පමණක් බවයි.
ඔහුගේ කතාව නැවත මතක් කරන විට මට මා පෞද්ගලික වෛද්‍යවෘත්තියේ යෙදී සිටිය දී මට ලැබුණු අත්දැකීමක් නිතැතින් ම සිහි වේ. වරක් දැඩි ලෙස ඇදුම රෝගයෙන් පෙළෙන කාන්තාවක ප්‍රතිකාර පිණිස මා වෙත ආවාය. ඇය දැක්වූ රෝග ලක්ෂණ වඩාත් සමපාත වූයේ ආයුර්වේදයෙහි එන තමක ශ්වාස ප්‍රභේදයකට වඩා, අපේ දේශීය වෙදකමෙහි පීනස් රෝග අතර එන ‘හොටු පීනස’ සමඟ වන නිසා හොටු පීනස සඳහා වූ දේශීය ප්‍රතිකාර පද්ධතියක් ඇසුරින් ප්‍රතිකාර කරන්නට පටන් ගතිමි. ඇයගේ රෝග තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් සුව අතට පත් වූ අතර, මාස හයක පමණ කාලයක දී ඇයට සහමුලින් එම රෝග තත්ත්වයෙන් මිදෙන්නට හැකි විය.
මෙයින් මාස කිහිපයකට පසු දිනෙක ඇය බොහෝ කලබලයෙන් දිවගෙන විත් මගේ බෙහෙත් ශාලාවට ගොඩ විය. එසේ පැමිණි ඇය ඇසූ පළමු ප්‍රශ්නය වූයේ, ” වෙදමහත්තයා මට දුන්නු බෙහෙතට කිසියම් ඉංග්‍රීසි බෙහෙතක් මිශ්‍ර කළාද?” යන්නයි.
එසේ නොමැති බවත් මා භාවිත කළ සියලුම ඖෂධ වාගේ මා විසින් ම ස්වාභාවික ශාක ආශ්‍රිත අමුද්‍රව්‍යයන්ගෙන් පිළියෙල කර ගත් ඒවා බවත් පැවසූ මම, ඇය එසේ අසන්නට හේතු වූ කාරණය කවරේදැයි විමසන්නට පසුබට නොවීමි.
“අපේ පවුලේ වෛද්‍යවරයා වූ බටහිර දොස්තර මහත්තයා හමු වූ වෙලාවක, මගේ ඇදුම රෝග තත්ත්වය ගැන ඇහැව්වා. මා කිව්වා ඒක දැන් නිට්ටාවට ම සනීපයි වෙදමහත්තයෙකුගෙන් බෙහෙත් ගත්තට පස්සේ කියලා. එතකොට දොස්තර මහත්තයා කියනවා ඔබට තිබුණු ඇදුම රෝගය එහෙම නිට්ටාවට සනීප කරන්න පුලුවන් ජගතෙක් තාම ලෝකයේ පහළ වෙලා නැහැ. හැබැයි අපේ සමහර බෙහෙත් තියෙනවා වැරදි විදිහට දුන්නොත් ඇදුම නම් නැති වෙනවා, හැබැයි වැඩි කලක් යන්න කලින් වෙන භයානක ලෙඩක් හැදිලා ලෙඩා මැරිලා යනවා. ඔය වෙදමහත්තුරු කරන්නේ ඒ බෙහෙත අධිමාත්‍රාවෙන් ඒගොල්ලන්ගේ ඒවට කලවම් කරලා දෙන එක කියලා.
මම හොඳටම බය වුනා. ඒකයි හනික දුවලා ආවේ. වෙදමහත්තයා කිව්වට පස්සෙයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. මහත්තයා දන්නවද මේ ලෙඩේ නිසා එක පාරක් මං සිය දිවි හානි කරගන්නත් හදලා තියෙනවා. ඒත් දැන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.”
ආයුර්වේදය පැමිණියේද දිව්‍ය ලෝකයෙනි. ඍෂි සම්මේලනයට එය රැගෙන ආවේ දෙවිවරුන් විසින් බව එහි ඉතිහාසයෙහි සඳහන් වේ. එය මුලින් ම එන්න ඇත්තේ ද දෙවියන්ගේ භාෂාවෙනි. එහෙත් සමහර වෙලාවට ඒ භාෂාවට උත්තර නොමැති ප්‍රශ්නවලට අපේ දේශීය වෙදකමේ භාෂාවේ උත්තර තිබේ. මේ බව අපි ප්‍රායෝගිකව වෙදකම් කරනා කාලයේ අත්දැකීමෙන් දැන සිටියෙමු. ආයුර්වේද චිකිත්සා පද්ධති හරියටම හරියන්නේ ඒ භාෂාවෙන්ම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කරන්නට හැදුවොත් පමණි. නවීන වෛද්‍ය විද්‍යාවේ භාෂාවෙන් රෝගය හඳුනාගෙන ඒ හා කිට්ටු ආයුර්වේද ලෙඩකට හරියන බෙහෙත් දුන්විට ඒ ප්‍රතිඵලය නොලැබෙන බව අප අත්දැක තිබේ.
මේ සියල්ල ගෙන යන වාහකයා වන්නේ එය ගෙනියන භාෂාවයි.
ඉහත කී දොස්තර මහතා එම රෝගය නිට්ටාවට සුවකළ නොහැකි යැයි සිතන්නේ ඔහු ඒ එක් භාෂාවක් පමණක් පරිශීලනය කළ හෙයිනි. ඔහුගේ භාෂාවේ ඒ ප්‍රශ්නයට තවම උත්තර නැත. නැතිනම් උත්තර හොයමින් තිබේ.
මා මේ රෝගියාගේ ලක්ෂණ ආයුර්වේද භාෂාවෙන් ආසන්නතම ශ්වාස ප්‍රභේදය අනුව හඳුනා ගෙන එයට ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියකින් ප්‍රතිකාර කළේ නම් ඇයට සුව නොවන්නට ඉඩ තිබුණි.
අපේ සම්‍යක් දෘෂ්ටික දේශීය දෙවිවරුන්ටත් භාෂාවක් තිබේ. ඒ දෙවිවරුන් දැකිය හැකි හා ඔවුන් හා ගණුදෙනු කරන මිනිසුන් එය කරන්නේ ඒ දේව භාෂාවෙනි.
පහුගිය කාලයක නාථ දෙවියන් හා ගණුදෙනු කළ එක්තරා කාන්තාවකට රජරට වකුගඩු රෝගයට හේතුව ‘ආසනික්’ බව එතුමා කියා තිබුණි. එවිට එකෙනෙහිම මට පැන නැගුණු පැනය වුනේ, හැබෑවට ම හේතුව ආසනික්ද යන්න නොවේ. සම්‍යක් දෘෂ්ටික දෙවිකෙනෙකුට වරදින්නට බැරිය. මගේ කුහුල වූයේ ආසනික්වලට දෙවියන්ගේ භාෂාවෙන් කීවේ කුමක්ද යන්නයි.
අපේ රටේ ඉපිද හැදී වැඩුණු අපේ දේශීය දෙවියෙකු වූ නාථ දෙවියන් වහන්සේ නම් එය ආසනික් කියා නොකියන්නට ඇතැයි ටක්කෙට ම දනිමි.

සත්‍යනාදන් කතා වස්තුව

මා දේශීය වෛද්‍යක‍්‍රම පිළිබඳ ජාතික ආයතනයේ සේවය කරන සමයයෙහි එක් දිනෙක, මගේ ගුරුවරියක ද වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමියක පැමිණ මගෙන් මෙසේ ඇසීය.

“ජයනෙත්ති, ඔයාගේ කන්තෝරු කාමරයට තව කෙනෙක් ආවාට කමක් නැද්ද?”
“සතුටින් පිළිගන්නවා මැඩම්, එන්න.”
“නැහැ. නැහැ. මම නෙවෙයි. අපේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරියක්.”
වෛද්‍ය සත්‍යනාදන් මහත්මිය මගේ කන්තෝරු කාමරයේ ලැගුම් ගන්නට ආවේ මේ දෙබසින් අනතුරුවයි. යාපනයේ කයිතඩි ආයුර්වේද රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කළ ඇය, අප ආයතනයේ ද්‍රවිඩ අංශයේ වැඩසටහන් සමායෝජනය සඳහා පත්වී පැමිණ තවමත් සති දෙකක් ඉක්ම ගොස් නැත. මගේ කාමරයට පැමිණීමට පෙර ඇය සිටියේ ඉහත කී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමියගේ කාමරයේය. ඇය මගේ කාමරයට පැමිණීම ගැන තරමක කුහුලක් මට ඇති වූ හෙයින්, එ් ගැන අනියමින් ඇසූ ප‍්‍රශ්නයට මගේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමියගෙන් ලැබුණු කෙටි පිළිතුර වූයේ,
“එයාට පුංචි විහිළුවක් කළත් හොඳටම ඩෝං යනවා. පරිස්සමින් ඉන්න.” යන්නයි.
මැදිවයසේ පසු වූ තරබාරු කාන්තාවක වූ ඇය බොහෝ දිනවල සේවයට පැමිණියේ උදෑසන කෝවිලට ගොස් නළලෙහි තුන්නූරුද උලාගෙනය. සෑම දිනෙකම ඉතා සිනාමුසු මුහුණින් කන්තෝරු කාමරයට එන්නේ “ගුඞ් මෝනින් ඩොක්ටර් ජයනිති” කියා මා අමතමිනි.
ඉතා සුළු විහිළුවකින් පවා කිපෙන්නේ යැයි මට හඳුන්වා දුන් ඇය , මා හා ඉතා කුළුපඟ වන්නට ගත වූයේ ඉතා සුළු කලකි. ඇය යාපනයේ සිට කොළඹ පැමිණියේ තමන් සතුව තිබූ බොහෝ දේ හැරපියා හුදෙක් ඇගේ යොවුන් වියේ සිටි පුතුන් දෙදෙනාගේ ආරක්ෂාව පතාය. ඇගේ සැමියා තමන්ගේම ගොවිපොළක් මනාව පාලනය කරමින් ඉතා සාර්ථක ගොවිතැනක යෙදුණු ගොවිමහතෙකි.
යාපනයේ රාජකාරි සඳහා ගිය අප දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිප පොළක්ම, ඔහු විසින් ගස් පිටින් අපූරුවට කොණ්ඩයක් ගොතන්නාක් මෙන් ගොතා දුන් “ළුෑණු හවරි” ගැන මීට පෙර අපට කියා තිබුණි. ද්‍රවිඩ බස පමණක් කතා කිරීමට හැකියාව තිබූ මේ සාර්ථක ගොවිමහතා කොළඹ පැමිණ කළේ දෙමළ පත්තර කන්තෝරුවක, මුද්‍රණාලයේ පත්තර පිටු නැමීමේ රැකියාවකි.
ඔවුන් ගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු එකල උසස් පෙළ ප‍්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටි අතර, අනෙකා ද උසස් පෙළ පන්තියක ඉගෙනුම ලැබීය. ඇය යාපනයේ සිටි අවසන් කාලයේ හැම විටම ජීවත්ව තිබුණේ කුමන මොහොතක හෝ කොටි සංවිධානය විසින් තම දරුවන් ඩැහැගෙන යාදැයි කියන පීඩනයෙනි. ඇය අප ආයතනයෙහි සේවය සඳහා වූ පුරප්පාඩුවට පැමිණ තිබුණේ හුදෙක්ම මේ හේතුව නිසාවෙනි.
කොළඹ තිඹිරිගස්යායේ ප‍්‍රධාන මාර්ගයකට මුහුණලා තිබූ ඉතා කුඩා ඇනෙක්සියක මේ මුළු පවුලම ජීවත් වූහ. පළමුවරට ඇය ඉක්මණින් කිපී කෑගසනු මා දුටුවේ වරක් මගේ මිතුරෙකු ඇගේ දෙමළ උත්පත්තිය හා කොටි සංවිධානය සම්බන්ධ කරමින් කළ විහිළුවකින් අනතුරුවය. ඕනෑම අවස්ථාවක ඇය හා කොටි සංවිධානය සම්බන්ධකොට කිසියම් අයෙක් ප‍්‍රකාශයක් කළේ නම් ඇය වහා කෝපයට පත්වන්නීය. අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමිය ඇය හා කළ විහිළුව කුමන ආකාරයේ එකක්දැයි මට දැන් සිතාගත හැකිය.
රජයේ රැකියාවෙන් ලැබෙන වැටුප දරුපවුල නඩත්තුවට නොසෑහෙන විට, ඇය අමතර ආදායමක් සඳහා පෞද්ගලිකව ඉංගී‍්‍රසි ටියුෂන් දීම ආරම්භ කළාය. එකල පරිපාලන සේවයෙහි සිටි සමහර ඉහළ නිලධාරින්ද රහසේ ඇගෙන් ටියුෂන් ගත් බව ඇය හෙළි නොකළ ද, බොහෝ අය දැන සිටියහ.
චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ සාම ගිවිසුමත් සමඟම අප හා එකට දේශීය වෛද්‍ය විද්‍යායතනයේ සිටි, සිද්ධ අංශයේ ඉගෙනුම ලද ද්‍රවිඩ සහෝදරයින් කිහිප දෙනෙකුම කොළඹ පැමිණි අවස්ථාවල අප ආයතනයට ගොඩවැදී අප හා කතා කර යන්නට අමතක නොකළහ.
මෙයින් සමහරෙක් පැමිණ කතා කර ගිය වහාම මා වෙතට පැමිණෙන වෛද්‍ය සත්‍යනාදන් මහත්මිය, “ඩොක්ටර් ජයනිති, බලාගෙන පරිස්සමින්. ඔය දැන් ඇවිල්ලා ගිය එකා එල්ටීටීඊ සිම්පතයිසර්” කියා සෙමින් කණට කොඳුරා යන්නීය.
එල්ටීටීඊයට ඉතා අකමැති වූ ඇගේ පි‍්‍රයතම ද්‍රවිඩ දේශපාලනඥයා වූයේ එවකට යාපනය දිස්ති‍්‍රක්කය නියෝජනය කළ මාවෙයි සේනාධිරාජා මන්තී‍්‍රතුමාය. බොහෝ අවස්ථාවල ඇය ඔහු ගැන කතා කළේ බොහෝ පහන් වූ හැඟීමෙනි. අද සිංහල අපට එල්ටීටීඊකාරයින්ගේත්, සේනාධිරාජාලාගේත් එතරම් වෙනසක් නොපෙණුනත්, ද්‍රවිඩ ඇය මේ වෙනස හොඳින් හඳුනාගෙන සිටියාය.
කෙසේ හෝ ඉතා සකසුරුවම්කමින් යම් මුදලක් රැස් කළ සත්‍යනාදන් මහත්මිය, ඇයගේ එක්සත් රාජධානියේ විසූ ඥාතියෙකුගේ ද සහාය ඇතිව, තම වැඩිමහල් පුත‍්‍රයා, එරට ඉගෙනුම සඳහා යවා ගන්නට සමත් වූවාය. ඔහු එරට සිටින ද්‍රවිඩ ජාතික බැරිස්ටර්වරයෙකු ළඟ සේවය කරමින්, නීතිය හදාරණ බව එ් දිනවල ඇය අප අමතා කීවේ, ඉහ වහා යන සතුටිනි. ඇය තම පුතුට අවශ්‍ය පෑන, පැන්සල, මකනයේ සිට අභ්‍යාස පොත් ඇතුළු සියලූම ලිපි ද්‍රව්‍ය තැපෑලෙන් යවන්නට නිතර උත්සුක වූවාය. වරෙක පුතා එවූ ලියුමක් මට ඇසෙන්නට ඇය කියැවූයේ කිසියම් ආකාරයක ආඩම්බරයක් මුසු සතුටකින් කඳුළු වගුරුවමිනි.
එහි ලියා තිබූ දෙය සිංහලෙන් කියන්නේ නම්, “අම්මේ, මගේ යාළුවෝ කියනවා උඹට ඉතා හොඳ අම්මා කෙනෙක් ලැබිලා තියෙනවා. හැමදේම හොයා බලා ළඟටම එවනවා. වාසනාවන්තයි.”
මා කැනඩාවට එන්නට සුළු කලකට පෙර සත්‍යනාදන් මහත්මිය ගේ විශ‍්‍රාම යන දින වකවානු යෙදී තිබුණි. විශ‍්‍රාම යාමට මාස දෙක තුනකට පෙර දිනෙක ඇය මා අමතමින්,
“ඩොක්ටර් ජයනිති, මට පොඩි උදව්වක් කරනවද? මං හිතාගෙන ඉන්නවා අපේ ගේ ඉස්සරහ පුංචි කොළ කැඳ කඩයක් දාන්න. පැන්ෂන් ගියාට පස්සේ ජීවත් වෙන්න ක‍්‍රමයක් තියෙන්න ඕනෑ නේ. බැරි ද මට සිංහලෙන් ලස්සන පෝස්ටර් ටිකක් හදලා දෙන්න, කොළ කැඳවල ගුණ ගැන කියන?” කියා ඉල්ලීමක් කළාය.
කෙතරම් කාර්ය බහුල වුව ද ඇයට උවමනා වූ පෝස්ටර් ඉතා උනන්දුවෙන් හා වෙහෙස වී සකස් කර දුනිමි. එදා මට නේක අයුරින් ස්තුති කළ ඇය, “මට උඹව මගේ බාල සහෝදරයෙක් වගේ දැනෙනවා” කියා කීවේ බොහෝ හැඟුම්බරවය.

කෙසේ හෝ හිතුවාට කලින් කැනඩාවට සංක‍්‍රමණය වීමට අවස්ථාව යෙදුණු නිසා, විශ‍්‍රාම ගිය වෛද්‍ය සත්‍යනාදන් මහත්මිය මොහොතකට මගේ මතකයෙන් ඉවත් වූ හෙයින්, ඇගේ කොළකැඳ ව්‍යාපාරයට කුමක් වීදැයි හොයන්නට මට නොහැකිවිය. අඩු ගණනේ ඇය තවමත් ජීවතුන් අතරදැයි කියා කියන්නට මා හෝ අප ආයතනයේ සේවය කළ කිසිවෙකුට හැකියාවක් ඇතැයි මම නොසිතමි.