නූතන සෘෂිවරයෙකුගේ පහළ වීම
බයිබලයේ පටන් ගැන්මේදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක කියන්නා වගේ කතාවක් චරක සංහිතාවේ ද ඇත.මහාබ්‍රහ්මයා විසින් එවනු ලබන නියෝජිතයෙකු මෙලොවට එන්නේ ගෙඩි පිටින් මැවූ ආයුර්වේදය අතැතිවය. ඔහු සියළුම සෘෂිවරුන් හිමවතට කැඳවා මහා සම්මේලනයක් පවත්වා මේ දැනුම ඔවුනට ලබා දේ. මෙය කියවන වාරයක් පාසා මට මහබඹුන් එක්ක ඇතිවන්නේ දැඩි අමනාපයකි. ඒ අපේ සෘෂිවරුන් දෙකේ කොලයට දමා ආයුර්වේදය ගෙඩි පිටින් ඔවුන්ගේ ඔළුගෙඩිවලට අතහැරිය නිසාය. අපට ඉන්නේ කුමන ක්‍රමයකින් හෝ සුවිශේෂ ඥේය මණ්ඩලයකින් යුතු සෘෂිවරුන්ය. ඔවුන්ගේ හිස මතට මේවා උඩින් ගෙනැවිත් අතහරින්න උවමනා නැත. බයිබලයේ එක බුල්ෂිට් වී මේක එළකිරි වෙන්ඩ බැරිය.
අපි මොහොතකට සෘෂිවරුන්ට පෙර පෘථග්ජන මිනිසුන් මෙලොව පහළ වූවා යයි සිතමු. (සැබවින් ම ආයුර්වේදය අනුව නම් මුලින්ම පහළ වුනේ දෙවිවරු හා සමාන මිනිසුන්ය. ඒකට පස්සේ එමු. ) මේ පහළ වූ මිනිසුන් උපන් දා සිට නොකා නොබී ඉන්නට නැතුව ඇති. මේ මිනිස්සු මේ දේ කෑමට සුදුසුය. මේ දේ නුසුදුසුය කියා දැන ගන්න ඇත්තේ කෙසේද? සෘෂිවරු පැමිණ කියා දෙන තුරු බඩගින්නේ සිටියේද? අර සිංහලෙන් ‘ට්‍රයල් ඇන්ඩ් එරර්’ කිව්වේ ඒකටය. ඒකට විද්‍යාව තියෙන්ඩම ඕනෑ වෙන්නේ නැත. මිනිස්සු කාලා බීලාම නොයෙකුත් පාඩම් ඉගෙන ගන්නට ඇති. ඒ වගේම උන්ගේ ඊළඟ පරම්පරාවටත් කියලා දෙන්න ඇති. මේ මිනිහෙකුට අහම්බෙන් අරළු ගෙඩියක් කන්න වුනා යැයි හිතමු. පළමුව ඔහුට එහි රස ගැන සංවේදනයක් ඇති වේ. දෙවනු ව බඩයන්නට පටන් ගන්නා විට එහි ගුණ ගැන පණිවුඩයක් ද ලැබේ. මේක ඇනලා උගන්වන්න සෘෂිවරු උවමනා වෙන්නේ නැත.
දැන් අපි ත්‍රිදෝෂවාදය ගැන පොඩ්ඩක් බලමු. චරක ආචාර්යතුමා මේවා දෙව්ලොවින් ආවා කියා පටන් ගත්තත් එතැනින් එහාට විස්තර කරද්දී ඒක අමතක කර දමයි. එහෙත් විටින් විට නැවත ඇවිත් මේවා අපට ලැබුනේ දෙව්ලොවින් බව කියා යන්නටද පෙළැඹෙන්නේ හරියට බ්‍රෙෂ්ටියානු නාට්‍යයක හිටපු ගමන් මැදට පැන “මේක හලෝ නාට්‍යයක්” කියන්නාක් මෙනි. (මම මේ සංහිතා ලියන ශෛලියට කුමන හේතුවක් නිසා හෝ බොහෝ ඇළුම් කරමි. ) ත්‍රිදෝෂවාදයට පාදක වන්නේ අප අවට ඇති පරිසරයේ වූ බලවේග තුනකි. මේ සංහිතාවෝ ඒ ගැන නොසඟවා පවසති. පළමුවැන්න හිරුය. එය මෙලොවට ආලෝකය දෙයි. උණුසුම ගෙන එයි. ගින්දර සහ පිළිස්සීමේ ගුණය ගෙන එයි.දෙවනුව සඳුය. සඳු මෙලොව සියළු සෞම්‍ය ගුණයන්ට හේතු වේ.තෙතමනයට මුල එයයි. තෙතමනය නිසා බර බව ඇතිවේ. මිනිස් සිතේ කරුණාව පහළ වන්නේ සඳ ඇති දාට එයින් ලැබෙන සිසිලස නිසාය. මේ බලවේග කෙතරම් කෙරුම්කාරයින් වුවත් සුළඟ නැත්නම් ලෝකය මළා වැනිය. හෙල්ලෙන්නේ නැති. සියළුම චලනයන් ඇතිවන්නේ මේ සුළඟ නිසාය. ගස්-වැල් සෙලැවෙන්නේත්, ගංගා දිය ඇලි ගලන්නේත් මෙහි බලපෑමෙනි. දැන් මොහොතකට හිතමු මේ ගැන. පෘතග්ජන අපට මේ දේ කියා දෙන්න සෘෂිවරු අවශ්‍යද? මේ ඕනෑම මිනිහෙකුට ඇඟට දැනෙන දේවල්ය. එහෙනම් අපට සෘෂිවරු අවශ්‍ය වුනේ කුමකටද? අපි ඒ ගැන ඊළඟට බලමු.
මිනිසුන් විසින් තමන්ගේ ඉන්ද්‍රියයන්ට දැනෙන දේ හරහා එකතු කරනු ලබන දැනුමක් නිරන්තරයෙන් පවතී. එහෙත් මේ දැනුම ක්‍රමාණුකූල ව සංවිධානය කරන්නටත්, ඒ සංවිධානය කරගත් දැනුම් පද්ධතිය ඔස්සේ තම නැණැස මෙහෙයවා එය තව දුරටත් විස්තාරණය කරන්නටත් ඒ විස්තාරණය කර ගත් දැනුම ඔස්සේ යමින් ඉදිරියට පුරෝකථනය කළ හැක්කේ අසාමාන්‍ය මනසක් ඇත්තෙකුට පමණි. මෙලෙස මනස දියුණු කළ මිනිසුන් අපි සෘෂිවරු සේ හඳුන්වමු. මෙතැන් පටන් ආයුර්වේද සිද්ධාන්ත ගොඩ නඟන්නේ මේ අය විසිනි.මේ මනස දියුණු කළ මිනිසුන් තමන්ගේ පංචේන්ද්‍රියන්ට දැනෙන දේ මෙන්ම ඒ හරහා මනස් ඉන්ද්‍රියට දැනෙන දේ සංයුක්ත කොට විශ්ලේෂණය කරමින් නැවත සමස්තය සංස්ලේශනයෙහි දක්ශයෝ ය. ඔවුන්ට අද යුගයේ ‘සෘෂීන්ට’ වඩා සංශ්ලේශන හැකියාවක් ඇති නැණැසක් තිබෙන්නට ඇත. එය එසේ වුනේ ඇයි?
මගේ පාසල් සමයේ මා හා නේවාසිකාගාරයෙහි එක් අන්ධ සිසුවෙක් විය. ඔහු අන්ධ වුවත් කිසියම් හඳුනන පුද්ගලයෙක් තමන් ලඟින් යන විට “ඔය අහවලා නේදැ”යි හරියට කියන්න හැකිය. ඔහුගේ මේ ‘විශ්මිත’ හැකියාවෙන් අපි නිරන්තර විශ්මයට පත්වීමු. එහෙත් ඔහුගේ අනිකුත් ඉන්ද්‍රියන් මේ සා දියුණු වූයේ ඔහු අන්ධ නිසා බව මොහොතකට අමතක කරලීමු. සෘෂිවරුන් බිහි වූ සමයයේ අද මෙන් අපගේ පංචේන්ද්‍රියයන් සහ ඉන්ද්‍රියය විෂයයන් අතරට නොයෙකුත් ඇටවුම් යොදා එම ඉන්ද්‍රියයන්ගේ හැකියාවන් ‘විශාලනය’ කිරීමක් නොතිබුණි. මේ නිසා එම යුගයේ ‘ප්‍රාඥයින්ට’, සැබෑ ප්‍රාඥයෙකු වීමට නම් තම මනැස වැඩි දියුණු කර ගැනිම අනිවාර්ය අංගයක් විය, . එ නිසා අද යුගයේ ප්‍රාඥයින්ට වඩා විශාලනය වූ මනසක් තිබෙන්නට ඇත. අපි එම මනසින් කළ කී දෑ ගැන අද දවසේ විශ්මයට පත් වෙමු. එහෙත් අපි අමතක කරන දේ වන්නේ අද මෙන් පංචේන්ද්‍රියන්ට දැනෙන දේ විශාලනය කර බලමින් එය විශ්ලේෂණය කිරීමේ හැකියාව ඔවුන්ට නොතිබුන බවයි. හරියට මගේ අන්ධ මිත්‍රයා ගේ අන්ධභාවය අපට අමතක වුනාක් මෙනි.
මම හැමදාම දකින සිහිනයක් ඇත. ඒ අනාගතයේ යම්කිසි දවසක සිය ‘ඉලෙක්ට්‍රෝණ අන්වීක්ශයෙන්’ ලෝකය දෙස බලමින් සියළු දේ වෙන්කර විශ්ලේෂණය කරමින්, නැවතත් තම පළල් වූ ‘මනස් ඉන්ද්‍රියය’ යොදා ගෙන එය නැවත සමස්ත ලෝකය බවට සංස්ලේෂණය කරන ‘නූතන සෘෂිවරයෙක්’ උපදිනු ඇතැයි කියාය. මේ නූතන සෘෂිවරයා මට දියසේන කුමාරයාට වඩා බොහෝ වටින්නේය.
කපුටා සහ කේජු කෑල්ලේ ඇත්ත කතන්දරය
ඔහෙලා අහලා ඇති කපුටෙක් රවටලා කේජු කෑල්ලක් කොල්ලකාපු නරියාගේ කතාව. කේජු කෑල්ලකට පොර කෑ බල්ලෙකුවයි බළලෙකුවයි රවටලා ඒ කේජු කෑල්ල කාපු වඳුරගේ කතාවත් අහලා ඇති. මේ දෙක කතා දෙකක් හැටියට තිබුණත් ඉස්සර එකම කතාවක්. දෙවෙනි කතාවේ වඳුරට රැවටුනේ බල්ලෙකුයි, බළලෙකුයි නෙමෙයි. නරියෙකුයි, වල්බළලෙකුයි. කැලේට කොයින් ද බල්ලො – බළල්ලු.
ඒත් පස්සේ කාලෙක දි මේ සේරොම කතා මුලින්ම ලියන්න පටන් ගත්තේ නරි. ඒ නිසා ඒ අය රැවටිච්චි හැම තැනකදීම, ඒ වෙනුවට වෙන සතෙකුගේ නම දාලා ඒ කතාව ලිව්වා.
ඉතින් මං දැන් කියන්න හදන්නේ නරියා විකෘති කරපු ඒ කතාව ඇත්තටම සිදු වුණේ කොහොමද කියලයි.
ඔන්න එකෝමත් එක රටක, එක කපුටෙක් හිටියා. මේ කපුටා එදා වේල හොයා ගන්න බොහොම මහන්සි වෙනවා. බොහෝ වෙලා ඇවිදලා තමන්ට උවමනා කෑම හොයා ගන්නේ හුඟක් මහන්සිවෙලා. දහඩිය මහන්සියෙන් වැඩ කළත් කපුටාට කන්න උවමනා බොහොම ටිකයි.
ඒ රටේම හිටියා නරියෙක්. නරියා හරි කම්මැලියි. ඒ වගේම අනුන් රවටන්නත් හරිම සූරයි. හැම වේලාවෙම කාගේ හරි කෑමක් කොල්ල කා ගන්න කල්පනා කරනවා මිස ඇඟ හොල්ලා කරන වැඩට හොරයි. ඒත් නරියට කපුටට වගේ නෙමෙයි, හුඟක් කෑම කන්න ඕනෑ. ඒ නිසා නරියත් වැඩි වැඩියෙන් කොල්ලකන්නේ කොහොම ද කියලා කල්පනා කරනවා.
දවසක් කපුටා කොහෙන්දෝ කුණු බක්කියකින් කේජු කෑල්ලක් ඇහින්දා. ඒක විශ්වාස කරන්න ටිකක් අමාරු වුණත් ඇත්ත ඒකයි.
ඉතින් කපුටත් මේ කේජු කෑල්ල අනික් කපුටන්ට නොපෙනෙන්න කන්න හිතලා, කැලෑව ඇතුළටම අරන් ගිහින් ගහක් උඩ වාඩිවෙලා කන්න සූදානම් වුණා. මේ ගහ යටින් ගිය නරියට කේජු සුවඳක් දැනුණා. උඩ බැලින්නම් කපුටා කේජු කෑල්ලක් එක්ක. නරියට හිතුනා මේ කේජු කෑල්ල කොහොම හරි තමන් කන්න ඕනෑ කියලා. එහෙම හිතූ නරියා මොකක් හරි උප්පරවැට්ටියක් දාන්න කල්පනා කරලා අන්තිමේ කපුටාට මෙහෙම කියනවා.
“අනේ…! කපුටෝ. උඹ මොන තරම් සුන්දර පක්‍ෂියෙක් ද…? ඇස් වටකුරුයි. දීප්තිමත් ඇඟ තද නිල්පාටින් දිලිසෙන අපූරුව. උඹේ සිනිඳු හිසයි, දිග පෙඳෙයි කොච්චර සමබරද…? මට පුදුම මෙච්චර කාලෙකට මේක නොදැක්ක එක ගැනයි. උඹ කොච්චර මහන්සිවෙලා වැඩ කරනවද…? අන්න ඒ නිසයි මං හිතන්නේ උඹ ඔය තරම් හැඩ. මහන්සිවෙලා හලන උඹේ දහඩියේ වුණත් තියෙන්නේ නියම ජීවන සුවඳ. ඉතින් මෙච්චර ලස්සන උඹේ එක ලස්සනක් බලන්න ඇයි උඹ අපට ඉඩ නොදෙන්නේ…?”
කපුටාට හරි පුදුමයි. මීට පෙර කවදාවත් කවුරුවත් තමන්ට මෙහෙම කියලා නැහැ. මං බොහොම මහන්සිවෙලා වැඩ කරන කෙනෙක්. හුඟක් මහන්සි වෙන අයගේ දහඩිය පවා සුවඳයි කියලා කොහේදෝ කවි පොතක තිබුණු බව කපුටාට මතක් වුණා. නරියා විතරයි මගේ නියම සුන්දරත්වය දැකලා තියෙන්නේ. කපුටා ටික වෙලාවක් සතුටු වුණා, තමන් ගැන ඇති වුණු ආත්මාභිමානයෙන්.
නරියා ආයෙත් මෙහෙම කියනවා. “ඇයි කපුටෝ, උඹේ හඬේ ලස්සන අහන්න හොඳ සිංදුවක් කියන්න බැරි…? උඹ සිංදු කිව්වොත් සමහරවිට කැලේ සේරොම සත්තු වැඩ නවත්වලා ඒක අහන්න ඒවි. එහෙමත් නැත්නම් මහන්සි නොබලා සතුටින් තමන්ගේ වැඩ කරාවි.”
කපුටා සිංදුව කියන්න ඉක්මන් වුණා. සිංදුවක් කියන්න කට ඇරියත් ගොරහැඬි කපුටු හඬ විතරක් පිට වුණා. කටේ තිබුණු කේජු කෑල්ල බිමට වැටුණා. එකපාරටම ඒක කකුලින් පාගාගත්තු නරියා, කපුටාට මෙහෙම කියනවා.
“කපුටු යාලුවේ මට උඹ ගැන හරිම දුකයි. උඹ කොච්චර මහන්සි වී වැඩ කෙරුවත් උඹේ ඔය මොට්ට ඔලුව ඇතුළේ උකුණු හිසක් තරම්වත් මොළයක් නැහැ. උඹ උඹේ තරම දන්නේ නැහැ. උඹ, උඹ ගැන හිතන්න හදන්නේ ඒ ගැන අනුන් කියන දෙයින් විතරයි. උඹ කොච්චර මහන්සි වුණත් හොඳ අනාගතයක් ලැබෙන්නේ නැහැ. කේජු කෑල්ලට බොහොම ස්තූතියි.”
මෙහෙම කිව්ව නරියා කේජු කෑල්ලත් අරන් යන්න ගියා. කපුටාට තමන් කරපු මෝඩකම වැටහුණා. ඒත් ඒක වැටහුණේ වැඩේ වුණාට පස්සේ බව තේරෙන කොට පුංචි පහේ ලජ්ජාවකුත් කෝපයකුත් ඇති වුණා.
නරියා කේජු කෑල්ල අරගෙන ගියත් එක පාරට කන්න ලෝභයි. ඒක ඒ තරම් රසයි. ඉතින් මුලින් ටිකක් ලෙව කාලා පැත්තකින් තිබ්බා. ඉන් පස්සෙ හොඳින් නාලා කියලා ඇවිත් තවත් පොඩ්ඩක් කන්න ඕනෑ කියලා හිතා ගෙන, හොඳ සුරක්‍ෂිත තැනක කේජු කෑල්ල හැංගුවා. නරියා, ඉන් පස්සෙ නාන්න ගියා.
කැලේ ඉන්න සතුන්ගෙන් හොඳම ඉව තියෙන සතා තමයි වල්බළලා. උගේ නෑයෙක් වන අපේ ගෙවල්වල ඉන්න බළලාගේ ඉව කොච්චරද…? ඒ වගේ දහ දොළොස් ගුණයක් හොඳ ඉවක් වල්බළලට තියෙනවා. ඉතින් කන්න මොකුත් හොයමින් කැලේ එහෙ මෙහෙ ඇවිදින වල්බළලාට තද කේජු සුවඳක් දැනුණා. මේ සුවඳ දිගේ ගියාම, අන්තිමට නැවතුනේ අර නරියා හංගාපු කේජු කෑල්ල ළඟයි.
වල්බළලත් බොහෝම සතුටු වෙලා ඒ කේජු කෑල්ල කන්න සූදානම් වුණා විතරයි. මෙන්න බොලේ නරියා එතැනට කඩාගෙන පැනපි. “හොරා, තක්කඩියා, අනුන්ගේ දේ හොරාගෙන කන්නා. කොල්ලකාරයා, වංචාකාරයා. තමුසේ මගේ කේජු කෑල්ල කන්න හැදුවා නේද…?” නරියා වල්බළලට ගොරවන්න පටන් ගත්තා.
“මේක තමුසෙගේ කේජු කෑල්ල වෙන්නේ කොහොමද…? මේක මගේ ඉවට පිං සිද්ධවෙන්න මං හොයා ගත්තු කේජු කෑල්ල. තමුසෙයි ඒක කොල්ලකන්න හදන්නේ. තමුසේ හැමදාමත් කෙරුවේ අනුන්ගේ දේ කොල්ල කා ගත්තු එකයි.” වල් බළලත් දෙවෙනි වුණේ නැහැ.
“ඕක මට කපුටගෙන් ලැබුණු තෑග්ගක්, එයාගේ මහන්සිය කැපවීම ගැන මං ගොතාපු කවිවලට. තමුසෙට කිසිම අයිතියක් නැහැ ඒක ඔය විදිහට කොල්ලකන්න.”
ඔයින් මෙයින් ඔය කතාව තවත් දුර දිග ගියා. අන්තිමට නරියයි, වල්බළලයි, මවිල් පුප්පාගෙන, දත් විලිස්සා ගෙන, උඩ පනින්නයි, ගොරවන්නයි, පොරකන්නයි පටන් ගත්තා. මෙහෙම පොරකනවා මුලින්ම දැක්කේ වඳුරෙක්. වඳුරා ඇවිත් ඒ දෙන්නා මැදට පැනලා බොහොම අමාරුවෙන් දෙන්නා දෙපැත්තට කළා.
“එක කැලේ එකට දඩයම් කරන්න ඕනෑ උඹලා මොන එහෙකට පොර කා ගන්නවා ද…?” වඳුරා ඇහැව්වා.
“අනේ වඳුරුහාමි, මං ඉව පාරේ ඇවිත් හොයා ගත්තු කේජු කෑල්ල මූ හොරා කන්න හදනවා.” වල්බළලා කිව්වා.
“නෑ වඳුරුහාමි, මං හංගාපු තැනින් හොරා ගෙන මූ කන්න හදන කොට තමයි මං දැක්කෙ. ඒක මට කපුටා දුන්නු තෑග්ගක්.” නරියා කිව්වා.
වඳුරා කේජු කෑල්ල අරන් ඉඹලා බැලුවා. දැන් තමයි වඳුරටත් ඒකෙ රස ගැන හැඟීමක් ඇති උනේ, වඳුරත් කෙළ හලන්න පටන් ගත්තා. වල්බළලටත්, නරියටත් මේ වැඩේ එච්චර ඇල්ලුවේ නැහැ.
“මේකට උඹලා පොර කන්න ඕනෑ නැහැ. උඹලා දෙන්නාම කියන කතා ඇත්තයි. ඒ බව මට හොඳින් තේරෙනවා. ඒක සමාදානෙන් බෙදා ගෙන කාපල්ලා. ඕනෑ නම් මං බෙදලා දීලා යන්නම්.”
වඳුරගේ යෝජනාවට දෙන්නම කැමති නැහැ.
“ඒක මටයි කපුටා දුන්නේ. ඉතින් මං මොකටද වෙන කාටවත් පංගුවක් දෙන්නේ…?” නරියා කිව්වා.
“මං මගේ ඉවට පිං සිද්ධ වෙන්න හොයා ගත්තු කේජු කෑල්ල. මං නොකා මොකටද අනුන්ට පංගුවක් දෙන්නේ…?” වල්බළලත් කිව්වා.
කොහොමෙන් හරි ආයිත් සැරයක් දෙන්නා පොරේට වැටුණා. මේ පාර නම් වඳුරට බේරන්න බැරි තරම් දරුණුයි. අන්තීමට දෙන්නටම හති වැටිලා පොරය නවත්වන කොට වල් බළලගේ කන් පෙත්තකුත්, නරියගේ පිටේ ලෝම පදාසයකුත් නැති වෙලා තිබුණා.
දැන් නම් දෙන්නටම තේරිලා, එකෙක් අනිකට යටත් නොවන විත්තිය. අන්තිමේ දී දෙන්නම කැමති වුණා, වඳුරා කේජු කෑල්ල බෙදා දෙනවට. වඳුරා කේජු කෑල්ල දෙකට කැඩුවා. “දැන් මේ දෙකෙන් උඹලාට ඕනෑ මොකක්ද…?” කියලා දෙන්නගෙන් වෙන වෙනම ඇහැව්වා. දෙන්නාම එකම කෑල්ල ඉල්ලනවා. වඳුරා “ඒ ඇයි…?” කියලා ඇහැව්වාම “ඒක ලොකු නිසා” කියාපි.
“හොඳයි එහෙනම් ඒ වැඩි හරිය මං කනවා. එතකොට කෑලි දෙකම එක ගානයි.” කියලා වඳුරා ලොකු කෑල්ලෙන් කොටහක් කෑවා. ඊළඟට අනික් කෑල්ල ඒ කියන්නේ මෙතෙක් වෙලා තිබුණු පුංචි කෑල්ල ලොකු වුණා. දෙන්නම ඒ කෑල්ල ඉල්ලුවා.
වඳුරත් කෑලි දෙක සමාන කරන්න මාරුවෙන් මාරුවට එක එක කෑල්ලෙන් කොටහ ගානේ හිමින් සීරුවේ කෑවා. කොහොමෙන් හරි අන්තිමට ඉතුරු වුණේ වඳුරා අතේ තිබ්ච්ච ඇබිත්තන් කේජු කෑල්ලක් විතරයි.
අන්තිමට ඒ දිහා බලලා නරියයි, වල්බළලයි කතා වෙලා කියනවා. “ඒ කෑල්ල අපි දෙන්නා සාමදානෙන් බෙදාගන්නම්. දැන් ඒ කෑල්ල අපිට දීලා වඳුරු හාමි යන්න.”
ඒත් වඳුරා හිනාවෙලා මෙහෙම කියනවා. “මෙච්චර වෙලාවක් මං මේක බෙදා දෙන්න මහන්සි වුණේ අත ලෙව කන්නයැ. මගේ මහන්සියට මටත් කෑල්ලක් ඕනෑ. මේක මං කනවා.” එහෙම කිව්ව හැටියේ ඒ කෑල්ලත් කටේ දාගෙන වඳුරා ගහකට ගොඩ වුණා. ගහට ගොඩවුණු වඳුරා වල්බළලටයි, නරියටයි මෙහෙම උපදේසයකුත් දුන්නා.
“මින් පස්සෙවත් තමන් හොයා ගත්තු දෙයක් සමාදානෙන් බෙදාගෙන කන්න පුරුදු වෙයල්ලා. කලින් හොයාගත්තේ කව්ද කියන එක නෙමෙයි වැදගත්. හොයාගත්තු දේ හැමෝම එකතුවෙලා සමාදානෙන් බුක්ති විඳින්නේ කෝමද කියන එකයි.”
ඉතින් නරියට තමන්ට වෙච්ච පාඩුවටත්, රැවටිල්ලටත් හරිම හිතට අමාරුයි. නරියා ඒ ගැන කල්පනා කරමින් දින ගණනක් කෑමක් නැතිව එක තැන ගුලි වී හිටියා.
අපේ කතාවේ මුල හිටපු චරිතය, කපුටා- අපි කොහොමද එයාව අමතක කරන්නේ…? එයා තමයි කේජු කෑල්ලේ නියම අයිතිකාරයා.
ඒත් කපුටා නම් කේජු කෑල්ල අමතක කර දැම්මා. ආයෙත් දවසක කුණු ගොඩක් අවුස්සද්දී අහම්බෙන් හරි කේජු කෑල්ලක් හම්බවෙන්න පුළුවන් නොවැ.
ඒත් නරියට නම් ඒක එහෙම වෙන්නෙ නැහැ. නරියට කේජු කන්න නම් ආයෙත් කපුටෙකුට කේජු කෑල්ලක් හම්බවෙන්න ඕනෑ. ඒ කපුටා ආයෙත් රැවටෙන්න ඕනෑ.
ඒත් කපුටො වුණත් හැමදාම එක විදිහට රැවටේවි කියලා හිතන්න පුළුවන් කාටද…?
(මේක 1989 දී විවරණ සඟරාවට ලියපු උපමා කතාවක්.)
නිරුවත් සංස්කෘතිය
ග්‍රීෂ්ම සෘතුවේ දී කෙලෝනා නුවර සැණකෙලි සිරි ගනී. සෙල්සියස් අංශක තිස් පහක්, හතළිහක් අතර පමණ වූ උණුසුමත්, දැඩි හිරු රැස් වැටීමත් නිසා මෙහි වැසියෝ නිතැතින්ම ඔකනාගන් විලෙහි නොගැඹුරු ජලය සහිත වෙරළ තීරයන් වෙත ඇදෙති. පසුගිය කාලයෙහි කෙලෝනා නුවර, ඔකනාගන් විලෙහි සුප්‍රකට වෙරළ තීරයක් සමීපයෙහිම පදිංචිව සිටි අපට කැමති වුවත්, අකමැති වුවත් නිරන්තයෙන්ම මේ ජනගඟට මැදිවන්නට සිදුවිය. මේ නගරයෙහි සුවිශේෂ ලක්‍ෂණය වනුයේ මේ කාලයෙහි ජල ක්‍රීඩාවන් සඳහා යන බොහෝ තරුණ තරුණියන් නගරය මැද වුව සැරිසරන්නේ, නාන ඇඳුමින් පමණක් වීමය. නාඹර තරුණියන් බිකිනි හැඳ, නග්න දෙපා පොළව මත තබමින් ඇවිද යන්නේ කිසිදු පැකිළීමකින් තොරව, සම්පූර්ණ ඇඳුමින් සැරසුණු උන් විලසය.
කුමන හේතුවක් නිසා හෝ මෙය දකින හැමවිටම මට මතක් වන්නේ මා කුඩා කල පාසල් නිවාඩුවට ගමේ ගිය විට දැක ඇති කිසියම් සිද්ධියකි. එකල ජීවිතයේ අසූව දශකයට එළැඹ සිටි මගේ සීයා කුඹුරු කොටන්නට යන්නේ ගෙදරදීම අමුඩයට බැසීමෙන් පසුය. කුඹුර කොටා, නියර බැඳ වෙහෙස වී, ඒ අමුඩ කෙටිය සමගම ඌරුකොටේ ළිඳෙන් නා, උදැල්ලත් කර තබා ගෙන මාකුරේ සිට නාරම්පිටිය දක්වා, බුලත්කොහුපිටිය – කෑගල්ල බස්පාර දිගේ මහත් උජාරුවෙන් ඔහු පැමිණෙන ආකාරය, මේ නාඹර තරුණියන් දකින හැම විටම මට සිහිවේ. තට්ටම් දෙකම නග්නව, දෙනෝ දාහක් යන එන බස් පාරේ අපේ සීයා ගියේත්, අද මේ ගැටිස්සියන් කෙලෝනා නගරය මැද බිකිනි හැඳ ගිය උජාරු ස්වරූපයෙන්ම යැයි ඒ හැම විටෙකම මට සිතේ.
සීයාගේ මේ අමුඩ කෙටිය අසික්කිත ඇඳුමක් ලෙස කිසි දිනෙක මට නොදැනුනත්, මහනුවර කන්‍යාරාමයක, කන්‍යා මවුතුමියන්ගෙන් ඉගෙනුම ලැබූ අපේ අම්මාට, තාත්තා හා විවාහ වී ගමේ පදිංචියට ගිය පසු නම් එය එසේ නොවන්නට ඇතැයි මම සිතමි. අමුඩයෙන් සැරසී කුඹුරු කොටන හෝ වෙනයම් කාර්යයක යෙදෙන වුන් අශිලාචාර යැයි හැඟවෙනු පරිදි ඇය කතා කළ අවස්ථා ඕනෑ තරම් මට අසන්නට ලැබී තිබුණි.
* * * * * * * * * * * * * * * * *
මීට වසර පහකට පමණ පෙර අවසන් වරට ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ, දිනෙක අපි ශ්‍රී දළදා මාළිගාව වඳින්නට යන්නට සූදානම් වුනෙමු. එවකට දහය සහ දොළොස් වියැති මා පුතුන් දෙදෙනා දණහිස තෙක් දිගැති කොට කලිසම්වලින් සැරසී සිටිනු දුටු මගේ පොඩි අක්කා, “ඇයි මාළිගාවට යනකොටවත් මේ ළමයින්ට සංවර ඇඳුමක් අන්දන්න බැරි…? දෙන්නම දිග කලිසම් ඇඳගෙන යන්න.” කියා විධානය කළාය.
“මං අවුරුදු දහසය, දාහත කාලෙදිත් මාළිගාවට ගියේ කොට කලිසම් ඇඳගෙන. මොකක්ද මේ කොට කලිසමේ තියෙනඅසංවරකම…?” මම පෙරළා ඇගෙන් ප්‍රශ්න කළෙමි.
“ඒ ඔයාගොල්ලන්ගෙ කාලෙ. දැන් ලංකාවේ ඒ සෙල්ලම් කරන්න බැහැ. දළදා මාළිගාවට ඇතුලුවෙන්න දෙන්නේ නැහැ වළලුකර වෙනකම් වැහෙන ඇඳුමක් නැතිව.” තරමක කේන්තියෙන් පිළිතුරු දුන් අක්කා, “කැනඩාවේ අසංවර සංස්කෘතිය මෙහේට ගේන්න හදන්න එපා.” කියා තර්ජනාත්මක ඇනුම්පදයකින් මට දමා ගැසුවාය.
අප කුඩා කාලයේ දහම් පාසල් ගියේ ද, පන්සල් ගියේ ද අපට පුරුදු කොට කලිසම් පොඞ්ඩෙන් සැරසීය. එය අසංවර ඇඳුමකැයි දහම් පාසල් ධර්මාචාර්යවරුන් හෝ හාමුදුරුවන් කිසි දින අපට කියා නැත. ගැහැනු ළමයින් වැඩි දෙනා පැමිණියේ ද ගවුම් කොට හැඳගෙනය. අතරින් පතර එකෙකු දෙන්නෙකු පමණක් ළමා සාරියෙන් සැරසී පැමිණි බව මට මතකය. එහෙත් පසු කලෙක මා රැකියාව කරන සමයෙහි, සුදු සරොම්වලින් සැරසුණු පිරිමි ළමයින් සහ ළමා සාරියෙන් සැරසුණු ගැහැනු ළමයින් මහරගම සුප්‍රකට දහම් පාසලකට යන හැටි මම දැක ඇත්තෙමි.
අප කුඩා කාලයේ දී ඇඳි මේ කොට කලිසම් අද ශ්‍රී ලංකාවේ කුඩා පිරිමි ළමයින්ට අසංවර ඇඳුමක් බවට පත්වන්නට බල පෑශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මේ සංස්කෘතික පෙරැළිය කුමක්ද…?
ශ්‍රී ලංකාවේ සිටින බොහෝ බෞද්ධයින් සිතන්නේ ශරීරයේ සකලාංගයන් වැසෙන පරිදි, ඇඳුම් ඇඳීම, අපට ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ රැගෙන ආ බුද්ධාගම සමග කියායි. දැඩි ග්‍රීෂ්ම තාපයටත්, හතරවටින් මුහුදින් වටවීමෙන් ලත් දැඩි ආර්ද්‍රතාවයටත් නිරතුරුව බඳුන් වන ඝර්ම කලාපීය ශ්‍රී ලංකාවේ සිටි පැරැන්නන් දහඩිය මුගුරු පෙරා ගෙන ඇඟම වැසෙන සේ රෙදි පොරවාගෙන ජීවත්වන්නට තරම් මුග්ධයින් වී යැයි මට නම් කිසිදා සිතන්නට නොහැකිය.
මෙරටට යුරෝපීයයන් පැමිණෙන සමයෙහි උඩුකය වසා ඇඳුම් ඇඳීමේ වරම් තිබුණේ ඉතා සීමිත කුළඟනන් කිහිප දෙනෙකුට පමණක් බව මා අසා ඇත. දැනට අවුරුදු විසිපහකට පමණ පෙර නකලස් කඳු වැටියේ ‘ගලමුදුන’ නම් වූ පුරාණ ගම්මානයට මා ගිය විට එදාටත් උඩුකය නොවැසෙන සේ ඇඟලුම් හැඳි ගැහැනුන් අපට කියා පෑවේ ඈත අතීතයේ අපේ වැසියන් ඇඳුම් ඇඳි ආකාරයයි.
එහෙත් පසු කලෙක හිම වැටෙන සීතල යුරෝපයේ සිට පැමිණ ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ සුද්දන්ට අපේ මිනිසුන්ගේ මේ කය නිරාවණය වන පරිදි ඇඳුම් ඇඳීම අසික්කිත දෙයක් යැයි හැඟුනු අතර, අපේ මිනිසුන් ශිෂ්ට සම්පන්න කිරීමට යුරෝපීය අධ්‍යාපනය, ආගම මෙන්ම මුළු සිරුර වැසෙන පරිදි ඇඳුම් ද හඳුන්වා දීමට එය බලපෑවේය.
ඈත ගම්මානයක ජීවත්වන මිනිසුන්ට අමුඩය ඉතා සාමාන්‍ය ඇඳුමක්ව පැවති සමයේ දී, නගරයේ කන්‍යාරාමයක යුරෝපීය කන්‍යාමවුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබූ මගේ අම්මා වැන්නවුන්ට එය අශිලාචාර ඇඳුමක් වන්නේ බෞද්ධාගමට වඩා කතෝලික පල්ලියේ බලපෑම් නිසාය. එහෙත් අද වන විට මේ යුරෝපීය ආගමික හා සංස්කෘතික බලපෑම් බුද්ධාගම සහ අපේ සංස්කෘතියට මාරු වී තිබේ.
අද අඩ නිරුවත සුද්දන්ට දී සුද්දන්ගේ වික්ටෝරියානු ශිෂ්ට සම්පන්න ඇඳුමට අපි මාරු වී සිටිමු. එපමණක් නොව මේ අඩනිරුවත අපේ රටවලට ගෙන ආවේ සුද්දන් විසින් යැයි සැබැවින්ම විශ්වාස කරන අපේ පොඩි අක්කා වැනි ප්‍රජාවක් ශ්‍රී ලංකාව පුරා බිහිවී සිටිති.
* * * * * * * * * * * * * * * * *
දිනපතා අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවේ පුවත්පත් කියවන කැනඩාවේ අප හා ජීවත්වන මගේ මිතුරෙක් පසුගිය දිනෙක මෙසේ කීවේය.
“උඹ දන්නවද වැඩක්…? දැන් ලංකාවේ කොට ගවුමයි, අමුඩයයි දෙකම තහනම් කරන්න හදනවා.”
මෙයට පිළිතුරු වශයෙන් “අනේ පලයන් බං යන්න. උඹලා ජේ.වී.පී.කාරයින්ගේ මඩ කතන්දර ප්‍රචාරය කරන්න හදනවා.” කියා මම කීවෙමි.
කෙසේ වුවද පසුගිය දිනෙක තවත් සිංහල බ්ලොග්කරුවෙකු මේ හා සමානම කතන්දරයක් කියා තිබුණි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඇමතිතුමා, අඩනිරුවත් ඇඳුම් තහනම් කිරීම සඳහා කමිටුවක් පත් කරන්න යන බවත්, එහි සභාපතිත්වය දැනට කලාමණ්ඩලයේ මුල් පුටුවේ සිටින වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට පවරන බවත් එහි සඳහන් විය. එම බ්ලොග්කරුවා දක්වන පරිදි මෙහි අරමුණ, ඉදිරියේ දී වර්ධනය වන සංචාරක ව්‍යාපාරයේ දී, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයිනට අප ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් හිමි ජාතියක් බව පෙන්නාදීමය. එක් අතකින් හෙළුවැලි සුද්දන් කියා බටහිර ජාතීන්ට කෝචොක් කරන අපි, ඔවුන් හඳුන්වාදුන් ඇඳුමින් කය වසා ගෙන සිටිමු. අනෙක් අතට උන් මෙරට එන විට ශිලාචාර බව උන්ට පෙන්වන්නට තතනමින් සිටිමු. අද අප මේ වළිකන්නේ බටහිර ජාතීන්ට එරෙහිව පිරිසිදු සිංහල බෞද්ධ සංස්කෘතියක් අපට ඇති බව පෙන්නා දීමටයි. මේ සඳහා අප නැවතත් පදනම් කර ගන්නේ වික්ටෝරියානු යුගයේ සුද්දන් මෙරටට ගෙන ආ උන්ගේ ශිෂ්ට සම්පන්න බවේ සංකේතයි.
මේ බ්ලොක්කරුවාගේ ලිපියට කමෙන්ටුවක් දමාපු එක් මගෝඩියෙක් මෙසේ කියා තිබුණි.
“එහෙම නම් මහාචාර්යතුමාට සීගිරි අප්සරාවන්ගෙන්ම පටන් ගන්න පුළුවන්.”