රාම – ලක්‍ෂ්මණ, දුටුගැමුණු සහ පික්ටන් ලා ගේ සංස්කෘතිය

 

picton

මා දන්නා තරමින් ඉන්දියානුවෝ තමන් ගේ ජාතිය, ආගම සහ කුලයෙහි උසස් බව ගැන පුරසාරම් දෙඩීමෙහි සැබෑ දක්‍ෂයෝ වෙති. ශ්‍රී ලාංකිකයෝ ද තම ජාතියේ සහ ආගමෙහි උසස් බව ගැන පාරම්බාන නමුත් කුලය ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීමට ප්‍රවේසම් වෙති. ඒ තමාගේ කුලය උසස් යැයි ප්‍රසිද්ධියේ කීම ශිෂ්ට සම්පන්න නොවේ යැයි ඔවුන් සිතන බැවිනි. එහෙත් මට හමු වූ බොහෝ ඉන්දියානුවෝ තමන් උසස් කුලයකින් පැවත එන බව කිසිම පැකිළීමකින් තොරව, මහත් ආඩම්බරයෙන් ප්‍රසිද්ධියේ පවසති.

මට නම් තමන් ගේ ජාතිය හෝ ආගම අන් ජාතීන් හෝ ආගම්වලට වඩා උසස් යැයි කීමත්, තමන් උපන් කුලය අන් කුලයන්ට වඩා උසස් යැයි කීමත් අතර එතරම් වෙනසක් පෙනෙන්නේ නැත.

දිනක් මගේ උගත් ඉන්දියානු මිතුරෙකු තමන්ගේ බ්‍රාහ්මණ කුලය ගැන කයිවාරු ගැසූ අවස්ථාවක දී එයට සවන් යොමා සිටි තවත් ඉන්දියානු මිතුරෙක් ඉතා සෙමින් මගේ කණට කොඳුරා, “කතාවෙන් නම් උසස්, ඒත් උන්ගේ මිනිස්සු අපේ රටේ දී කරන්නේ අන්තිම පහත් වැඩ” යයි කීවේය. මේ අනෙක් ඉන්දියානු මිතුරා, එරට “හරිජන” යැයි සළකන කුලයකින් පැවත එන්නෙකි. (තමන් “ආදි ධර්මීන්” මිස “හරිජනයින්” නොවන බවත්, මේ හරිජන හංවඩුව ගැහුවේ බ්‍රාහ්මණ කුලයේ මහත්මා ගාන්ධි විසින් බවත් ඔහු නිතර පවසයි)

මගේ මිතුරා ගේ ප්‍රකාශයෙන් මඬනා ලද කුහුලින්, අන් දිනෙක මම මේ පිළිබඳව ඒ හරිජන මිතුරාගෙන් විමසා සිටියෙමි. එයට ඔහු දුන්නේ ඇඟේ හිරිගඩු පිපෙන ආකාරයේ එහෙත් අද ඉන්දියාවේ සාමාන්‍යයෙන් සිදුවන සිද්ධියක් පිළිබඳ විස්තර කිරීමකි.

“අපේ කුලයේ කොල්ලෙක් බ්‍රාහ්මණ කෙල්ලක් සමඟ යාළු වුණොත් හෝ විවාහ වුණොත්, ඒ බ්‍රාහ්මණ පවුලේ කොල්ලන් විසින් අර (හරිජන) කොල්ලාගේ සොහොයුරියන් සොයා ගොස් දූෂණය කරනවා. සමහරවිට එතැනින් නොනැවතී ඔවුන්ගේ රහසඟ කපා තුවාල කරනවා. මේ ගැන කියන්න පොලීසියට ගියොත් ඔවුන් කියන්නේ උඹලාගේ කොල්ලා බරපතල වැරැද්දක් කරලා තියෙන්නේ. ඒකට උඹලා ගේ මුළු පවුලටම දඬුවම් කරන්න ඕනේ. දඬුවම ලැබුනේ එකෙකුට විතරයි කියලා හිතාගෙන ගෙදර පලයන් කියලයි.”

මේ කතාව ඇසූ මා විසින් මගේ මිතුරාට දුන් පිළිතුර වූයේ, රාම – ලක්‍ෂමණ දෙවියන් වූ උඹලාගේ සංස්කෘතියේ මේ වගේ දේවල් වීම පුදුමයක් නොවන බවයි. රාම කුමරුගේ සුකුමාර පුරුෂකාය දැක වශී වී ඔහු හා රතිකෙළියෙහි ඇළුණුූ සුපර්ණිකාට, ඇයගේ මේ ස්වාභාවික ආශාවට, රාමයන්ගේ සොහොයුරු ලක්‍ෂ්මණ විසින් දුන් දඬුවම වූයේ ඇගේ නාසය හා දෙකන් පෙති කපා ඉවත් කිරීමයි.

“ලක්‍ෂ්මණ අද කැනඩාවේ හිටියා නම් වෙන්නේ රොබට් පික්ටන් එක්ක එකම කූඩුවේ ලගින්නයි” කියා මම මගේ පැහැදිලි කිරීම අවසන් කළෙමි.

වැන්කුවර් හි කොක්විට්ලම් ප්‍රදේශයේ ඌරු කොටුවක් පවත්වාගෙන ජීවත් වූ රොබට් පික්ටන් මිනීමැරම් හතලිහකට නොඅඩු ගණනක් සඳහා සැකපිට අත්අඩංගුවේ පසුවේ. ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ, ඉවතලන ඌරු මස් අපද්‍රව්‍ය සමඟ මිනිස් අවයව ද තිබී හමුවීමෙන් අනතුරුවය. මෙසේ මරා දැමූවන්ගේ සුවිශේෂත්වය වන්නේ පළමුව ඔවුන් සියළු දෙනාම ගැහැණුන් වීමයි. දෙවනුව ඒ සෑම දෙනාම එක්කෝ ගණිකාවන් හෝ මත්ද්‍රව්‍යයනට ඇබ්බැහි වූවන් වීමයි. මොවුන් මරා, මස් කිරීම සඳහා පික්ටන්ට අනුව සාධාරණ හේතු තිබුණි. ඒ සියළුම කාන්තාවන් දෙවියන් වහන්සේගේ නියමයන්ට එරෙහිව මිථ්‍යාචාරයන් හි යෙදුණවුන් හෙයින් ධර්මිෂ්ට සමාජයක් උදෙසා ඔවුන් තුරන් කිරීම දේවකාර්යයක් වූ බැවිනි.

රාම කුමරුන් දේවත්වයෙහි ලා සලකන මගේ මිතුරා මීට දුන් පිළිතුර වූයේ “උඹලා ශ්‍රී ලංකාවේ රාවණාගේ පව්කාර නෑදෑයෝ”යන්නයි.

* * * * * * * * * * * * * * * * *

1983 ජූලි කලබල සමයේ මම රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ඉගෙනුම ලබමින් සිටියෙමි. මේ කාලයේ එහි සිද්ධ අංශයෙහි ඉගෙනුම ලැබූ දෙමළ කෙල්ලෝ සියළු දෙනාම වෙන කිසිවක් කර කියා ගත නොහැකිව කාන්තා නේවාසිකාගාරයෙහි කොටු වී සිටියහ. මේ දිනවල වරින් වර කඩු පොලු අමෝරාගෙන කාන්තා නේවාසිකාගාරයට පැන මේ කෙල්ලන් පැහැර ගැනීමට මාන බැලූ ඔබේසේකරපුර පාදඩයින්ගෙන් ඔවුන් බේරා ගැනීමට අපේ ශිෂ්‍යයිනට හා මොරගස්මුල්ල ප්‍රදේශවාසී අපේ මිතුරන්ට මහත් වෙහෙසක්දරන්නට සිදු විය.

අවසානයේ වැලිකඩ පොලීසියේ ප්‍රධානීන් හා සාකච්ඡා කර කොළඹ නගරයේ ප්‍රථම සරණාගත කඳවුර එම පොලීසියේ උඩු මහලේ අරඹන්නට නේවාසිකාගාර ශිෂ්‍ය සහෝදරවරු සමත් වූහ.

කාන්තා නේවාසිකාගාරයේ සිංහල හා මුස්ලිම් සොහොයුරියන් විසින් උයා පිස සකස් කරන ලද කෑම පාර්සල් රැගෙන දිනකට කිහිපවරක් මේ කඳවුරට ගිය අපට ඒ හැම විටෙකම එම පොලීසියේ කොස්තාපල්වරුන්ගේ කුණුහරුප කතා ඉවසන්නට සිදු විය. ඔවුන්ගේ කුණු හරුප භාෂාව ශිෂ්ඨ වචනවලට පෙරළා පවසන්නේ නම්, ඔවුන් හැම විටම කීවේ, “ඔය පර දෙමළියන්ව දූෂණය කරලා මරා දාන්න ඉඩ නොදී උඹලා මොන බම්බුවක් ද මේ කළේ ?”

ආයතනයෙහි ළඟින් ඇසුරු කළ අප සියල්ලම හොඳින් දැන සිටි පරිදි, එකල කිසිදු දේශපාලන සංවේදීතාවයකින් තොර වූ මේ අහිංසක යුවතියන් දූෂණය කර මරා දමන්නට ඔවුන් යෝජනා කළේ හුදෙක් ඔවුන් දෙමළුන් වීම නිසාය. මේ සිතුවිල්ල ඔවුන් තුළ ජනිත කළේ ඊළාම් කොටි සංවිධානය විසින් කළ සැහැසි ක්‍රියා නිසා පමණක්ද?

ඉතා දැහැමි රජෙකු ලෙස අප ඉතිහාසයෙහි ප්‍රකටව සිටි මහළු එළාර රජු මරා දැමීමට තරුණ දුටුගැමුණු කුමරා ඉදිරිපත් වූයේ හුදෙක් ඔහු විදේශීය ආක්‍රමණිකයෙක් නිසා පමණක් නොවේ. ඒ ඔහු “සිංහල බෞද්ධ” රජෙකු නොවීම නිසාය. කෙතරම් දැහැමි වුවද සිංහල බෞද්ධ එක් සේසත් කළ රාජ්‍යයක් වෙනුවෙන් ඔහු මරා දැමීම අනිවාර්ය විය.

අප පැවත එන්නේ ඒ පරමාදර්ශී දුටු ගැමුණු රජුගේ සංස්කෘතියෙනි. ශ්‍රී ලාංකික අපේ හෝ ඉන්දියානුවන්ගේ පරමාදර්ශයන් වූ දුටුගැමුණු හෝ රාම-ලක්‍ෂමණ විසින් ඒ ඒ සංස්කෘතීන්ට එක් කරනු ලැබූ සැහැසිකම් සංස්කෘතිය ඇතුළත දී අවුරුදු දහස් ගණනකට පසුව වුවද සාමාන්‍ය දේවල් වන්නේ ඒ ආකාරයටය. කෙතරම් සාහසිකවුවද අප ඒ ගැන නිහඬව අනුකූලතාව දක්වන්නේ, අපට අපේ සංස්කෘතිය රැක ගැනීමට එය බාධාවක් වේ යැයි ඇති බිය නිසාය.

මිතු දම්

මා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයෙහි සේවය කරන සමයෙහි, මා සමඟ එකම කන්තෝරු කාමරය බෙදාගත් සගයා හපුතලේ මැතිවරණ කොට්ඨාසයෙන් පැමිණියෙකි. පශ්චාත් උපාධි පට්ටම් කිහිපයකට හිමිකම් කීව ද, වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා කිසියම් ඇමති තනතුරකට පත්වූ පසු, ඔහුගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කිරීමට හේ ඉතා කැමැත්තෙන් සිය රාජකාරිය අතහැර යයි.

කෙතරම් වෙනස් දේශපාලන මතිමතාන්තර දැරුව ද, එකම බුලත්විට බෙදාගෙන හපමින් සමීප මිතුරන් සේ ඇසුරු කරන්නට කිසිදු විටෙක අපට එය බාධාවක් නොවීය. කෙතරම් දුරස්ව සිටියත් අදත් අපේ මිතුදම් එසේම පවතී.

මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණෙහි රජයක් පැවති සමයක වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් විරුද්ධ පක්‍ෂයේ හෙයින් මගේ මිතුරා අප කාර්යාලයෙහි සේවය කරමින් සිටි කාලයකි. එකල පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා හපුතලේ ආසනයට අයත් ප්‍රාදේශීය සභාවක් සඳහා තරඟ වැදුණු ශ්‍රී ල.නි.ප. කණ්ඩායම් නායකයා මගේ සගයාගේ පාසල් සමයේ පටන් වූ මිතුරෙක් විය. මේ මිතුරාගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය අත්පත්‍රිකා සකස් කිරීමේ කාර්යය ඔහු විසින් මගේ සගයාට භාර දී තිබුණේ එවැනි මාධ්‍යකටයුතු පිළිබඳ මනා පරිචයක් ඇති ඔහු දන්නා එකම මිතුරා වූහෙයිනි. මෙම පත්‍රිකා සකස් කිරීමේ දී මා ද ඊට සම්මාදන් වූ බව මට හොඳ හැටි මතකය.

කෙසේ වුවද මෙම පත්‍රිකා සකස් කර මුල් කෙටුම්පත පරිගණකයෙන් මුද්‍රණය කර දිනක් ගත වන්නටත් පෙර මගේ මිතුරාට වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් ගෙන් වහාම පැමිණ හමුවන ලෙස පණිවුඩයක් ලැබිණි.

“මේ ටිකට කවුරු හරි මෙතන ඉන්න එකෙක් ඒක ලොක්කගේ කණේ තියලා” හේ මට කීවේ කෝපයෙනි. කෙසේ හෝ පණිවුඩය ලද දිනයේ සවසම ලොකුබණ්ඩාරයන් හමුවීමට ඔහු අමතක නොකළේය.

පසු දින රාජකාරි සඳහා පැමිණි මගේ මිතුරා පැවසු පරිදි ඔහු හා වි.ජ.මු. ලොකු බණ්ඩාරයන් අතර වූ දෙබස පහත පරිදිය.

“ඈ බං ඇත්තද උඹ අර ශ්‍රීලංකා එකෙන් ඉල්ලන රාජට ප්‍රාදේශීය සභා ඡන්දෙට උදව් කරනවා කියන්නේ?”

“ඔව් සර්, මං උදව් නොකර කොහොමද? ඌ හෝඩියේ පන්තියේ ඉඳන් මගේ යාළුවා වෙච්චිකොට. ඉතින් උදව්වක් ඉල්ලපුවාම මට බැහැ කියන්න බැහැ.”

“උඹ හරි බං. දේශපාලනේ හරි වෙන හේතුවක් නිසා හරි යාළුවෝ අතහරින්න නරකයි. හැබැයි ඔය පත්‍රිකා හදන එක වැඩට ඇවිත් අනික් උන්ට පේන්න කරන්නේ නැතිව ගෙදර ගිහින් කරපන්. නැතිනම් මට කණක් ඇහිලා ඉන්න නැහැ. උඹ දන්නව නේ ආයුර්වේදෙ ඇතුළේ වාතයක් ගියත් ගඳ හපුතලේට දැනෙන බව.”

මේ සිද්ධිය නිසා මගේ සගයා තම මිතුරාගේ ඡන්ද ව්‍යාපාරයට උදව් කිරීම අතහැරියේවත්, ඊළඟ ඇමතිකාලයේ දී වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් මගේ සගයාට මාධ්‍ය ලේකම්කම නොදී සිටියේවත් නැත.

* * * * * * * * * * * * * * * * *

පසුගියදා 18 වැනි සංශෝධනයට අත එසවූ වාසුදේව නානායක්කාර සහෝදරයා එසේ කරන්නට හේතු වූ සාධක පැහැදිලි කිරීමට කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ උපහාසයට බඳුන් වෙමින් පවතී. ඔහුගේ ප්‍රකාශයට අනුව මේ සංශෝධනයට ප්‍රතිපත්තිමය වශයෙන් ඔහු විරුද්ධය. එහෙත් යූ. ඇන්. පීයට හා සරත් පොන්සේකා පාර්ශවයේ මිලිටරිවාදයට එරෙහි වීමට අවශ්‍ය හෙයින් ඔහු මේ පනතට සහයෝගය පළ කරන්නට තීරණය කර ඇත. ඔහුගේ මේ ප්‍රකාශය ලිබරල් මාධ්‍යකරුවන්ට තලු මරමින් රසකර ලියන්නට හැකි විහිළුවක් ලබා දී ඇත. එහෙත් මෙම ප්‍රකාශය වාසුගේ සැබෑ අභිලාෂය පෙන්වන්නේ යැයි මම නොසිතමි.

මා අසා ඇති පරිදි 70 දශකයේ දී සමසමාජ පක්‍ෂයේ මහනුවර ලෝකල් සභාවේ වික්‍රමබාහු සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායම විසින් වාම සමසමාජ කල්ලිය බිහි කළ අවස්ථාවේ එය තලා දැමීම සඳහා පක්‍ෂය විසින් එවා තිබුණේ වාසු ය. එහෙත් දෛවයේ සරදමකට මෙන් පසු කාලයක දී පක්‍ෂයේ දොර තමාට වැසුණු කල වාසුට සිදුවූයේ තම පැරණි මිතුරාගේ සෙවන සොයා වාම සමසමාජ පිළට යන්නටය. වික්‍රමබාහු ද තමාගේ මේ මිතුරා සිය පිළට ගත්තේ ප්‍රතිපත්තිවලටවඩා තම පැරණි මිත්‍රත්වයට ගරු කිරීමක් හැටියට බව මම විශ්වාස කරමි. අවසර ලැබුණු විගස වාසු නැවතත් තම පැරණි පිළ නියෝජනය සඳහා පැන යන බව වික්‍රමබාහු නොදැන සිටියා නොවේ. වාසුගේ මේ සංක්‍රාන්ති කාලය ඔහු සිතුවාට වඩා දික් වුවත් ඉඩ ලද විගස එතැනින් පැන යන්නට ඔහු පසුබට වූයේ නොවේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වාසු තමාගේ උපදේශකයකු ලෙස පත් කරනු ලැබූවේ, ඔහු වාසු ගරු කරන ප්‍රතිපත්තිවලට එකඟ නිසා නොවේ. ඒ ඔවුන් දෙදෙනා අතර කලක් තිස්සේ පැවති මිතුදම් සනාත කරනු වස් කළ යුතු දෙයක් සේ සළකාය. එසේ නම් මහින්ද ශ්‍රී ල.නි.පයේ හා වාසු සමසමාජයේ සිටින්නේ නැත. වාසු ද තමා එකඟ නොවන ප්‍රතිපත්ති දරණ මහින්ද දුන් ඒ තනතුර ප්‍රතික්‍ෂේපනොකළේ එය ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වයට කැළලක් විය හැකි නිසාය.

වරෙක තමන්ට තරඟ කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලද ඉඩ, වාසුට ප්‍රදානය කර ඉවත් වූ නැසී ගිය ඇම්. ඒ. ජස්ටින් සහෝදරයා කළ පරිත්‍යාගය අරබයා වාසු වඩාත් අවංක ප්‍රකාශයක් එකල කර තිබුණි. ඔවුන් දෙදෙනා අතර තිබූ හෘදයාංගමය සම්බන්ධතාව නිසා ජස්ටින් සහෝදරයා මේ අවස්ථාව තමාට ලබා දුන් බව ඒ ප්‍රකාශයට ඇතුළත් විය. මේ හෘදයාංගම සම්බන්ධතාවය දේශපාලනයට ඔබ්බෙන් ගිය ඒ දෙදෙනා ගොඩනගා තිබූ මිත්‍රත්වය මිස අනෙකක් නොවේ.

18 වන සංශෝධනයේදීත් ජස්ටින් අරබයා පළ කළ ප්‍රකාශය මෙන් තමන් මේ සංශෝධනයට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වුවත් මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පවතින හෘදයාංගමය සම්බන්ධතාවය නිසා මෙයට පක්‍ෂවන බව කියන්නට වාසු අවංක වූයේ නම් මේ ප්‍රකාශය අද ලක්ව ඇති විහිළුවක ස්වරූපයට වඩා සංවේදී වන්නටඉඩ තිබුණි.

මිතුදම් තරම් අසිරිමත් දෙයක් වෙන පවතී ද?

( 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වාසු අත එසැවූ බව දැන ගත් පසු මා විසින් යාත්‍රා සඟරාවේ මගේ කොලමට ලියූ රචනාව.වාසු කියන්නේ කෙටි කාලයක් වුව අපේ වීරයෙක් වූ කෙනෙකි. එවන් වීරයෝ බලු වෙනකොට අපට දුක හිතෙන්නේ ඔවුන් ගැන නොවේ අප ගැනමය. මේ ඒ දුක සමනය පිණිස ලියැවුණු රචනාවකි. )

නූතන සෘෂිවරයෙකුගේ පහළ වීම

rishi

බයිබලයේ පටන් ගැන්මේදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක කියන්නා වගේ කතාවක් චරක සංහිතාවේ ද ඇත.මහාබ්‍රහ්මයා විසින් එවනු ලබන නියෝජිතයෙකු මෙලොවට එන්නේ ගෙඩි පිටින් මැවූ ආයුර්වේදය අතැතිවය. ඔහු සියළුම සෘෂිවරුන් හිමවතට කැඳවා මහා සම්මේලනයක් පවත්වා මේ දැනුම ඔවුනට ලබා දේ. මෙය කියවන වාරයක් පාසා මට මහබඹුන් එක්ක ඇතිවන්නේ දැඩි අමනාපයකි. ඒ අපේ සෘෂිවරුන් දෙකේ කොලයට දමා ආයුර්වේදය ගෙඩි පිටින් ඔවුන්ගේ ඔළුගෙඩිවලට අතහැරිය නිසාය. අපට ඉන්නේ කුමන ක්‍රමයකින් හෝ සුවිශේෂ ඥේය මණ්ඩලයකින් යුතු සෘෂිවරුන්ය. ඔවුන්ගේ හිස මතට මේවා උඩින් ගෙනැවිත් අතහරින්න උවමනා නැත. බයිබලයේ එක බුල්ෂිට් වී මේක එළකිරි වෙන්ඩ බැරිය.

අපි මොහොතකට සෘෂිවරුන්ට පෙර පෘථග්ජන මිනිසුන් මෙලොව පහළ වූවා යයි සිතමු. (සැබවින් ම ආයුර්වේදය අනුව නම් මුලින්ම පහළ වුනේ දෙවිවරු හා සමාන මිනිසුන්ය. ඒකට පස්සේ එමු. ) මේ පහළ වූ මිනිසුන් උපන් දා සිට නොකා නොබී ඉන්නට නැතුව ඇති. මේ මිනිස්සු මේ දේ කෑමට සුදුසුය. මේ දේ නුසුදුසුය කියා දැන ගන්න ඇත්තේ කෙසේද? සෘෂිවරු පැමිණ කියා දෙන තුරු බඩගින්නේ සිටියේද? අර සිංහලෙන් ‘ට්‍රයල් ඇන්ඩ් එරර්’ කිව්වේ ඒකටය. ඒකට විද්‍යාව තියෙන්ඩම ඕනෑ වෙන්නේ නැත. මිනිස්සු කාලා බීලාම නොයෙකුත් පාඩම් ඉගෙන ගන්නට ඇති. ඒ වගේම උන්ගේ ඊළඟ පරම්පරාවටත් කියලා දෙන්න ඇති. මේ මිනිහෙකුට අහම්බෙන් අරළු ගෙඩියක් කන්න වුනා යැයි හිතමු. පළමුව ඔහුට එහි රස ගැන සංවේදනයක් ඇති වේ. දෙවනු ව බඩයන්නට පටන් ගන්නා විට එහි ගුණ ගැන පණිවුඩයක් ද ලැබේ. මේක ඇනලා උගන්වන්න සෘෂිවරු උවමනා වෙන්නේ නැත.

දැන් අපි ත්‍රිදෝෂවාදය ගැන පොඩ්ඩක් බලමු. චරක ආචාර්යතුමා මේවා දෙව්ලොවින් ආවා කියා පටන් ගත්තත් එතැනින් එහාට විස්තර කරද්දී ඒක අමතක කර දමයි. එහෙත් විටින් විට නැවත ඇවිත් මේවා අපට ලැබුනේ දෙව්ලොවින් බව කියා යන්නටද පෙළැඹෙන්නේ හරියට බ්‍රෙෂ්ටියානු නාට්‍යයක හිටපු ගමන් මැදට පැන “මේක හලෝ නාට්‍යයක්” කියන්නාක් මෙනි. (මම මේ සංහිතා ලියන ශෛලියට කුමන හේතුවක් නිසා හෝ බොහෝ ඇළුම් කරමි. ) ත්‍රිදෝෂවාදයට පාදක වන්නේ අප අවට ඇති පරිසරයේ වූ බලවේග තුනකි. මේ සංහිතාවෝ ඒ ගැන නොසඟවා පවසති. පළමුවැන්න හිරුය. එය මෙලොවට ආලෝකය දෙයි. උණුසුම ගෙන එයි. ගින්දර සහ පිළිස්සීමේ ගුණය ගෙන එයි.දෙවනුව සඳුය. සඳු මෙලොව සියළු සෞම්‍ය ගුණයන්ට හේතු වේ.තෙතමනයට මුල එයයි. තෙතමනය නිසා බර බව ඇතිවේ. මිනිස් සිතේ කරුණාව පහළ වන්නේ සඳ ඇති දාට එයින් ලැබෙන සිසිලස නිසාය. මේ බලවේග කෙතරම් කෙරුම්කාරයින් වුවත් සුළඟ නැත්නම් ලෝකය මළා වැනිය. හෙල්ලෙන්නේ නැති. සියළුම චලනයන් ඇතිවන්නේ මේ සුළඟ නිසාය. ගස්-වැල් සෙලැවෙන්නේත්, ගංගා දිය ඇලි ගලන්නේත් මෙහි බලපෑමෙනි. දැන් මොහොතකට හිතමු මේ ගැන. පෘතග්ජන අපට මේ දේ කියා දෙන්න සෘෂිවරු අවශ්‍යද? මේ ඕනෑම මිනිහෙකුට ඇඟට දැනෙන දේවල්ය. එහෙනම් අපට සෘෂිවරු අවශ්‍ය වුනේ කුමකටද? අපි ඒ ගැන ඊළඟට බලමු.

මිනිසුන් විසින් තමන්ගේ ඉන්ද්‍රියයන්ට දැනෙන දේ හරහා එකතු කරනු ලබන දැනුමක් නිරන්තරයෙන් පවතී. එහෙත් මේ දැනුම ක්‍රමාණුකූල ව සංවිධානය කරන්නටත්, ඒ සංවිධානය කරගත් දැනුම් පද්ධතිය ඔස්සේ තම නැණැස මෙහෙයවා එය තව දුරටත් විස්තාරණය කරන්නටත් ඒ විස්තාරණය කර ගත් දැනුම ඔස්සේ යමින් ඉදිරියට පුරෝකථනය කළ හැක්කේ අසාමාන්‍ය මනසක් ඇත්තෙකුට පමණි. මෙලෙස මනස දියුණු කළ මිනිසුන් අපි සෘෂිවරු සේ හඳුන්වමු. මෙතැන් පටන් ආයුර්වේද සිද්ධාන්ත ගොඩ නඟන්නේ මේ අය විසිනි.මේ මනස දියුණු කළ මිනිසුන් තමන්ගේ පංචේන්ද්‍රියන්ට දැනෙන දේ මෙන්ම ඒ හරහා මනස් ඉන්ද්‍රියට දැනෙන දේ සංයුක්ත කොට විශ්ලේෂණය කරමින් නැවත සමස්තය සංස්ලේශනයෙහි දක්ශයෝ ය. ඔවුන්ට අද යුගයේ ‘සෘෂීන්ට’ වඩා සංශ්ලේශන හැකියාවක් ඇති නැණැසක් තිබෙන්නට ඇත. එය එසේ වුනේ ඇයි?

මගේ පාසල් සමයේ මා හා නේවාසිකාගාරයෙහි එක් අන්ධ සිසුවෙක් විය. ඔහු අන්ධ වුවත් කිසියම් හඳුනන පුද්ගලයෙක් තමන් ලඟින් යන විට “ඔය අහවලා නේදැ”යි හරියට කියන්න හැකිය. ඔහුගේ මේ ‘විශ්මිත’ හැකියාවෙන් අපි නිරන්තර විශ්මයට පත්වීමු. එහෙත් ඔහුගේ අනිකුත් ඉන්ද්‍රියන් මේ සා දියුණු වූයේ ඔහු අන්ධ නිසා බව මොහොතකට අමතක කරලීමු. සෘෂිවරුන් බිහි වූ සමයයේ අද මෙන් අපගේ පංචේන්ද්‍රියයන් සහ ඉන්ද්‍රියය විෂයයන් අතරට නොයෙකුත් ඇටවුම් යොදා එම ඉන්ද්‍රියයන්ගේ හැකියාවන් ‘විශාලනය’ කිරීමක් නොතිබුණි. මේ නිසා එම යුගයේ ‘ප්‍රාඥයින්ට’, සැබෑ ප්‍රාඥයෙකු වීමට නම් තම මනැස වැඩි දියුණු කර ගැනිම අනිවාර්ය අංගයක් විය, . එ නිසා අද යුගයේ ප්‍රාඥයින්ට වඩා විශාලනය වූ මනසක් තිබෙන්නට ඇත. අපි එම මනසින් කළ කී දෑ ගැන අද දවසේ විශ්මයට පත් වෙමු. එහෙත් අපි අමතක කරන දේ වන්නේ අද මෙන් පංචේන්ද්‍රියන්ට දැනෙන දේ විශාලනය කර බලමින් එය විශ්ලේෂණය කිරීමේ හැකියාව ඔවුන්ට නොතිබුන බවයි. හරියට මගේ අන්ධ මිත්‍රයා ගේ අන්ධභාවය අපට අමතක වුනාක් මෙනි.

මම හැමදාම දකින සිහිනයක් ඇත. ඒ අනාගතයේ යම්කිසි දවසක සිය ‘ඉලෙක්ට්‍රෝණ අන්වීක්ශයෙන්’ ලෝකය දෙස බලමින් සියළු දේ වෙන්කර විශ්ලේෂණය කරමින්, නැවතත් තම පළල් වූ ‘මනස් ඉන්ද්‍රියය’ යොදා ගෙන එය නැවත සමස්ත ලෝකය බවට සංස්ලේෂණය කරන ‘නූතන සෘෂිවරයෙක්’ උපදිනු ඇතැයි කියාය. මේ නූතන සෘෂිවරයා මට දියසේන කුමාරයාට වඩා බොහෝ වටින්නේය.

නිරුවත් සංස්කෘතිය

maaligaava vandinna yana landun
ග්‍රීෂ්ම සෘතුවේ දී කෙලෝනා නුවර සැණකෙලි සිරි ගනී. සෙල්සියස් අංශක තිස් පහක්, හතළිහක් අතර පමණ වූ උණුසුමත්, දැඩි හිරු රැස් වැටීමත් නිසා මෙහි වැසියෝ නිතැතින්ම ඔකනාගන් විලෙහි නොගැඹුරු ජලය සහිත වෙරළ තීරයන් වෙත ඇදෙති. පසුගිය කාලයෙහි කෙලෝනා නුවර, ඔකනාගන් විලෙහි සුප්‍රකට වෙරළ තීරයක් සමීපයෙහිම පදිංචිව සිටි අපට කැමති වුවත්, අකමැති වුවත් නිරන්තයෙන්ම මේ ජනගඟට මැදිවන්නට සිදුවිය. මේ නගරයෙහි සුවිශේෂ ලක්‍ෂණය වනුයේ මේ කාලයෙහි ජල ක්‍රීඩාවන් සඳහා යන බොහෝ තරුණ තරුණියන් නගරය මැද වුව සැරිසරන්නේ, නාන ඇඳුමින් පමණක් වීමය. නාඹර තරුණියන් බිකිනි හැඳ, නග්න දෙපා පොළව මත තබමින් ඇවිද යන්නේ කිසිදු පැකිළීමකින් තොරව, සම්පූර්ණ ඇඳුමින් සැරසුණු උන් විලසය.
කුමන හේතුවක් නිසා හෝ මෙය දකින හැමවිටම මට මතක් වන්නේ මා කුඩා කල පාසල් නිවාඩුවට ගමේ ගිය විට දැක ඇති කිසියම් සිද්ධියකි. එකල ජීවිතයේ අසූව දශකයට එළැඹ සිටි මගේ සීයා කුඹුරු කොටන්නට යන්නේ ගෙදරදීම අමුඩයට බැසීමෙන් පසුය. කුඹුර කොටා, නියර බැඳ වෙහෙස වී, ඒ අමුඩ කෙටිය සමගම ඌරුකොටේ ළිඳෙන් නා, උදැල්ලත් කර තබා ගෙන මාකුරේ සිට නාරම්පිටිය දක්වා, බුලත්කොහුපිටිය – කෑගල්ල බස්පාර දිගේ මහත් උජාරුවෙන් ඔහු පැමිණෙන ආකාරය, මේ නාඹර තරුණියන් දකින හැම විටම මට සිහිවේ. තට්ටම් දෙකම නග්නව, දෙනෝ දාහක් යන එන බස් පාරේ අපේ සීයා ගියේත්, අද මේ ගැටිස්සියන් කෙලෝනා නගරය මැද බිකිනි හැඳ ගිය උජාරු ස්වරූපයෙන්ම යැයි ඒ හැම විටෙකම මට සිතේ.
සීයාගේ මේ අමුඩ කෙටිය අසික්කිත ඇඳුමක් ලෙස කිසි දිනෙක මට නොදැනුනත්, මහනුවර කන්‍යාරාමයක, කන්‍යා මවුතුමියන්ගෙන් ඉගෙනුම ලැබූ අපේ අම්මාට, තාත්තා හා විවාහ වී ගමේ පදිංචියට ගිය පසු නම් එය එසේ නොවන්නට ඇතැයි මම සිතමි. අමුඩයෙන් සැරසී කුඹුරු කොටන හෝ වෙනයම් කාර්යයක යෙදෙන වුන් අශිලාචාර යැයි හැඟවෙනු පරිදි ඇය කතා කළ අවස්ථා ඕනෑ තරම් මට අසන්නට ලැබී තිබුණි.
* * * * * * * * * * * * * * * * *
මීට වසර පහකට පමණ පෙර අවසන් වරට ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ, දිනෙක අපි ශ්‍රී දළදා මාළිගාව වඳින්නට යන්නට සූදානම් වුනෙමු. එවකට දහය සහ දොළොස් වියැති මා පුතුන් දෙදෙනා දණහිස තෙක් දිගැති කොට කලිසම්වලින් සැරසී සිටිනු දුටු මගේ පොඩි අක්කා, “ඇයි මාළිගාවට යනකොටවත් මේ ළමයින්ට සංවර ඇඳුමක් අන්දන්න බැරි…? දෙන්නම දිග කලිසම් ඇඳගෙන යන්න.” කියා විධානය කළාය.
“මං අවුරුදු දහසය, දාහත කාලෙදිත් මාළිගාවට ගියේ කොට කලිසම් ඇඳගෙන. මොකක්ද මේ කොට කලිසමේ තියෙනඅසංවරකම…?” මම පෙරළා ඇගෙන් ප්‍රශ්න කළෙමි.
“ඒ ඔයාගොල්ලන්ගෙ කාලෙ. දැන් ලංකාවේ ඒ සෙල්ලම් කරන්න බැහැ. දළදා මාළිගාවට ඇතුලුවෙන්න දෙන්නේ නැහැ වළලුකර වෙනකම් වැහෙන ඇඳුමක් නැතිව.” තරමක කේන්තියෙන් පිළිතුරු දුන් අක්කා, “කැනඩාවේ අසංවර සංස්කෘතිය මෙහේට ගේන්න හදන්න එපා.” කියා තර්ජනාත්මක ඇනුම්පදයකින් මට දමා ගැසුවාය.
අප කුඩා කාලයේ දහම් පාසල් ගියේ ද, පන්සල් ගියේ ද අපට පුරුදු කොට කලිසම් පොඞ්ඩෙන් සැරසීය. එය අසංවර ඇඳුමකැයි දහම් පාසල් ධර්මාචාර්යවරුන් හෝ හාමුදුරුවන් කිසි දින අපට කියා නැත. ගැහැනු ළමයින් වැඩි දෙනා පැමිණියේ ද ගවුම් කොට හැඳගෙනය. අතරින් පතර එකෙකු දෙන්නෙකු පමණක් ළමා සාරියෙන් සැරසී පැමිණි බව මට මතකය. එහෙත් පසු කලෙක මා රැකියාව කරන සමයෙහි, සුදු සරොම්වලින් සැරසුණු පිරිමි ළමයින් සහ ළමා සාරියෙන් සැරසුණු ගැහැනු ළමයින් මහරගම සුප්‍රකට දහම් පාසලකට යන හැටි මම දැක ඇත්තෙමි.
අප කුඩා කාලයේ දී ඇඳි මේ කොට කලිසම් අද ශ්‍රී ලංකාවේ කුඩා පිරිමි ළමයින්ට අසංවර ඇඳුමක් බවට පත්වන්නට බල පෑශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මේ සංස්කෘතික පෙරැළිය කුමක්ද…?
ශ්‍රී ලංකාවේ සිටින බොහෝ බෞද්ධයින් සිතන්නේ ශරීරයේ සකලාංගයන් වැසෙන පරිදි, ඇඳුම් ඇඳීම, අපට ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ රැගෙන ආ බුද්ධාගම සමග කියායි. දැඩි ග්‍රීෂ්ම තාපයටත්, හතරවටින් මුහුදින් වටවීමෙන් ලත් දැඩි ආර්ද්‍රතාවයටත් නිරතුරුව බඳුන් වන ඝර්ම කලාපීය ශ්‍රී ලංකාවේ සිටි පැරැන්නන් දහඩිය මුගුරු පෙරා ගෙන ඇඟම වැසෙන සේ රෙදි පොරවාගෙන ජීවත්වන්නට තරම් මුග්ධයින් වී යැයි මට නම් කිසිදා සිතන්නට නොහැකිය.
මෙරටට යුරෝපීයයන් පැමිණෙන සමයෙහි උඩුකය වසා ඇඳුම් ඇඳීමේ වරම් තිබුණේ ඉතා සීමිත කුළඟනන් කිහිප දෙනෙකුට පමණක් බව මා අසා ඇත. දැනට අවුරුදු විසිපහකට පමණ පෙර නකලස් කඳු වැටියේ ‘ගලමුදුන’ නම් වූ පුරාණ ගම්මානයට මා ගිය විට එදාටත් උඩුකය නොවැසෙන සේ ඇඟලුම් හැඳි ගැහැනුන් අපට කියා පෑවේ ඈත අතීතයේ අපේ වැසියන් ඇඳුම් ඇඳි ආකාරයයි.
එහෙත් පසු කලෙක හිම වැටෙන සීතල යුරෝපයේ සිට පැමිණ ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ සුද්දන්ට අපේ මිනිසුන්ගේ මේ කය නිරාවණය වන පරිදි ඇඳුම් ඇඳීම අසික්කිත දෙයක් යැයි හැඟුනු අතර, අපේ මිනිසුන් ශිෂ්ට සම්පන්න කිරීමට යුරෝපීය අධ්‍යාපනය, ආගම මෙන්ම මුළු සිරුර වැසෙන පරිදි ඇඳුම් ද හඳුන්වා දීමට එය බලපෑවේය.
ඈත ගම්මානයක ජීවත්වන මිනිසුන්ට අමුඩය ඉතා සාමාන්‍ය ඇඳුමක්ව පැවති සමයේ දී, නගරයේ කන්‍යාරාමයක යුරෝපීය කන්‍යාමවුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබූ මගේ අම්මා වැන්නවුන්ට එය අශිලාචාර ඇඳුමක් වන්නේ බෞද්ධාගමට වඩා කතෝලික පල්ලියේ බලපෑම් නිසාය. එහෙත් අද වන විට මේ යුරෝපීය ආගමික හා සංස්කෘතික බලපෑම් බුද්ධාගම සහ අපේ සංස්කෘතියට මාරු වී තිබේ.
අද අඩ නිරුවත සුද්දන්ට දී සුද්දන්ගේ වික්ටෝරියානු ශිෂ්ට සම්පන්න ඇඳුමට අපි මාරු වී සිටිමු. එපමණක් නොව මේ අඩනිරුවත අපේ රටවලට ගෙන ආවේ සුද්දන් විසින් යැයි සැබැවින්ම විශ්වාස කරන අපේ පොඩි අක්කා වැනි ප්‍රජාවක් ශ්‍රී ලංකාව පුරා බිහිවී සිටිති.
* * * * * * * * * * * * * * * * *
දිනපතා අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවේ පුවත්පත් කියවන කැනඩාවේ අප හා ජීවත්වන මගේ මිතුරෙක් පසුගිය දිනෙක මෙසේ කීවේය.
“උඹ දන්නවද වැඩක්…? දැන් ලංකාවේ කොට ගවුමයි, අමුඩයයි දෙකම තහනම් කරන්න හදනවා.”
මෙයට පිළිතුරු වශයෙන් “අනේ පලයන් බං යන්න. උඹලා ජේ.වී.පී.කාරයින්ගේ මඩ කතන්දර ප්‍රචාරය කරන්න හදනවා.” කියා මම කීවෙමි.
කෙසේ වුවද පසුගිය දිනෙක තවත් සිංහල බ්ලොග්කරුවෙකු මේ හා සමානම කතන්දරයක් කියා තිබුණි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඇමතිතුමා, අඩනිරුවත් ඇඳුම් තහනම් කිරීම සඳහා කමිටුවක් පත් කරන්න යන බවත්, එහි සභාපතිත්වය දැනට කලාමණ්ඩලයේ මුල් පුටුවේ සිටින වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට පවරන බවත් එහි සඳහන් විය. එම බ්ලොග්කරුවා දක්වන පරිදි මෙහි අරමුණ, ඉදිරියේ දී වර්ධනය වන සංචාරක ව්‍යාපාරයේ දී, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයිනට අප ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් හිමි ජාතියක් බව පෙන්නාදීමය. එක් අතකින් හෙළුවැලි සුද්දන් කියා බටහිර ජාතීන්ට කෝචොක් කරන අපි, ඔවුන් හඳුන්වාදුන් ඇඳුමින් කය වසා ගෙන සිටිමු. අනෙක් අතට උන් මෙරට එන විට ශිලාචාර බව උන්ට පෙන්වන්නට තතනමින් සිටිමු. අද අප මේ වළිකන්නේ බටහිර ජාතීන්ට එරෙහිව පිරිසිදු සිංහල බෞද්ධ සංස්කෘතියක් අපට ඇති බව පෙන්නා දීමටයි. මේ සඳහා අප නැවතත් පදනම් කර ගන්නේ වික්ටෝරියානු යුගයේ සුද්දන් මෙරටට ගෙන ආ උන්ගේ ශිෂ්ට සම්පන්න බවේ සංකේතයි.
මේ බ්ලොක්කරුවාගේ ලිපියට කමෙන්ටුවක් දමාපු එක් මගෝඩියෙක් මෙසේ කියා තිබුණි.
“එහෙම නම් මහාචාර්යතුමාට සීගිරි අප්සරාවන්ගෙන්ම පටන් ගන්න පුළුවන්.”
(මීට වසර හතරකට පමණ පෙර ‘යාත්‍රා’ සඟරාවට ලියන ලද රචනාවකි.)